December 27, 2023

ආනයනික නොකැපූ මැණික් මත සහ මෙරටදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් යොදාගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක සියයට 18ක වැට් බද්ද පැනවීමෙන් වෙළඳපොළට බරපතල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association – SLGJA) සාමාජිකයෝ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මෙසේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම කර්මාන්තය විදේශ විනිමය ඉපැයීම සහ රැකියාව උත්පාදනය වශයෙන් හිමිකරගෙන ඇති ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමින් සෑම විටම ජීඑස්ටී සහ වැට් බදුවලින් නිදහස් කර තිබු නිසා මෙම නව තීරණය ‘මීට පෙර නොදුටූවිරූ’ පියවරක් බවයි.

ඉන්දියාව (3%) , තායිලන්තය (7%) , ඩුබායි (5%) වැනි තරඟකාරීත්වයක් ඇති කරන රටවල වැට් බදු අනුපාතය අඩු හෙයින් ශ්‍රී ලංකාවට තරඟකාරීත්වය අහිමිවී යෑමක් සිදුවන බවද ඔවුන් සඳහන් කර තිබේ.

එමෙන්ම වැට් බද්ද නිසා මෙරට විගමණික සේවකයන්ට/ ඩයස්පෝරාවේ සාමාජිකයන්ගේ මිලදී ගැනීම්වලට බාදාවක් වන බවද එම සංගමය පවසයි.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය විනාශ මුඛයට යන බවට හෝ අවිධිමත් වෙළෙඳපොල කරා යොමුවීමකින් ආදායම් බදු වශයෙන් දැනට ලැබෙන බදු ආදායම තවදුරටත් අහිමිවන බවද ඔවුහු පුරෝකථනය කරති.

එමෙන්ම ලබන වසරේ සිට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අගය එකතු කළ බද්දට යටත් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් මෙම කර්මාන්තය වැසීයෑමකට, පෞද්ගලික අංශය එම කර්මාන්තය විදේශයන්හි පිහිටුවීමට හෝ අවිධිමත් අංශය කරා ආපසු යෑමකට හේතු වන බවට එම සංගමය අනතුරු අඟවයි.

වාර්ෂික විධිමත් මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඩොලර් මිලියන 500ක් පමණ වන අතර, දේශීයව සංචාරකයන්ට සහ විගමණික සේවකයන්ට කරන අලෙවියේ වටිනාකම ඩොලර් බිලියනයක් පමණවේ.

මෙම කර්මාන්තය ලක්ෂ හයකට වඩා පිරිසකගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය බවට පත්ව ඇත.

සමස්තයක් වශයෙන් කාර්ය සාධනය අඩුවීමක් පැවතියද, මේ වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනයේ ආදායම ඩොලර් මිලියන 440 දක්වා සියයට 16ක වර්ධනයක් වාර්තා වී ඇත.

දියමන්ති, මැණික් සහ ලෝහ ආනයනය ඩොලර් මිලියන 223ක් දක්වා සියයට 27කින් ඉහළ ගොස් ඇති අතර, මෙම පසුබිම තුළ සහ පාරිභෝගිකයන්ගේ මනාපය දියමන්තිවල සිට වර්ණවත් මැණික් කෙරෙහි යොමුවෙමින් තිබෙන කාලයකදී, මැණික් හා ස්වර්ණාභරණ අංශය වැට් බද්දට යටත් කිරීම අමනෝඥ බවද සංගමය පෙන්වාදෙයි.

පාරිභෝගිකයන්ගේ මනාපයන් හා ඔවුන්ගේ රුචියට ගැළපෙන වර්ණ, මෝස්තර සහ නිපැයුම්වල ගුණාත්මක බව වැනි විවිධ වාණිජ හේතු මත අපනයනවලින් සියයට 70ක්ම ආනයනික නොකැපූ මැණික් මත රඳාපවතින බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ පවසති.

42.31%
17.27%
32.76%