December 26, 2023

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයකට සංචාරක සේවා සමාගමක් හරහා පැමිණි රුමේනියා ජාතික යුවළක් එරටින් රක්ෂණ මුදල් ලබාගැනීමට සිදුකළ කුමන්ත්‍රණයක් හෙළිදරව් කර ගැනීමට සංචාරක හෝටලයේ පාලන අධිකාරි සහ දිඹුල පතන පොලිසිය සමත් වී ඇත.

දින 08ක සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති රුමේනිසා ජාතික සංචාරක යුවළ දෙදිනක් එම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන, අද (26) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට සිටින යුවළක් බව එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය පවසයි.

එම සංචාරක හෝටලයට පෙරේදා (24) පැමිණි මෙම යුවළ හෝටලයේ මිලෙන් අධික කාමරයක් වෙන් කරවාගත් බවත්, 24 වැනිදා රාත්‍රියේ රුමේනියා ජාතික 35 හැවිරිදි කාන්තාව සම්බාහනයක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසද්දී හෝටලයේ පාලන අධිකාරි හෝටලයේ සම්බාහන අංශයේ සේවය කරන කාන්තාවකගේ සේවය ලබාදී ඇත.

රුමේනියා කාන්තාව හෝටලයේ පාලන අධිකාරී අමතා පවසා ඇත්තේ, තමන්ට අවශ්‍යවන්නේ පිරිමියකුගේ සේවාවක් බවයි.

ඇයගේ ඉල්ලීම අනුව සම්බාහත අංශයේ සේවකයකු සේවාව ලබාදීමෙන් අනතුරුව එම කාන්තාව සම්බාහන අංශයෙන් පිටතට පැමිණ ස්නානය කර මද වේලාවකින් පසු හෝටලයේ මානව සම්පත් කළමනාකරණ ඒකකය වෙත පැමිණ සම්බාහන සේවය ලබාදීමට පැමිණි පුද්ගලයා තමන්ට අතවර කිරීමට තැත්කළ බව පැවසීමෙන් අනතුරුව එම හෝටලයේ පාලන අධිකාරිය ඒ පිළිබඳව දිඹුල පතන පොලිසිය වෙත දැනුම් දී ඇත.

හෝටලයේ පාලන අධිකාරියේ දැනුම්දීම මත හෝටලයට පැමිණි පොලිස් නිලධාරීන් අතවරයට ලක් වූවේයැයි කියන රුමේනියා ජාතික කාන්තාවගෙන් පැමිණිල්ල සටහන් කරගැනීමට යෑමේදී ඇය මේ සදහා පැමිණිල්ලක් අවශ්‍ය නොවන බවත්, එරටින් රක්ෂණ මුදල් සහ මෙරටට පැමිණි ගුවන් ටිකට්පත්වල මුදල් ලබාගැනීම සඳහා මෙරට නීතිඥවරයකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලිපියක් සහතික කරදෙන ලෙසත්, ඉල්ලා තිබේ.

තමන් හෝටලයෙන් පිටව යන තෙක් කිසිදු මුදලක් අයනොකරන ලෙසට හෝටලයේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම සහ නීතිඥවරයකුගේ ලිපියක් ලබාදීම හෝටල් පාලන අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇති අතර, හෝටල් පාලන අධිකාරිය මගින් රුමේනියානු ජාතික යුවළ වෙත අවධාරණය කර ඇත්තේ, එවැනි සිද්ධියක් වී ඇත්නම් ඒ සඳහා මෙරට අනුගමනය කළ යුතු ප්‍රධාන සාධකය වන්නේ පොලිසිය වෙත පැමිණිලි කිරීම බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් පාලන අධිකාරිය මගින් එම රුමේනියානු ජාතික යුවළ හෝටලය වෙත යොමුකර තිබූ සංචාරක සේවා ආයතනයට දැනුම් දුන් බව ද සංචාරක හෝටලයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.(ලංකදීප)

42.31%
17.27%
32.76%