December 24, 2023

එයාර් බෑග් ක්‍රියාත්මක නොවීමට හේතුවිය හැකි දෝෂයක් නිසා, සිය සමාගම විසින් අලෙවි කළ වාහන මිලියනයක් නැවත කැඳවන බව ටොයෝටා සමාගම නිවේදනය කර තිබේ.

එම ආපසු කැඳවීමට, එක්සත් ජනපදයේ ධාවනයට එක්කර තිබෙන, 2020 සිට 2022 වසර දක්වා වන Toyota සහ Lexus වාහන මාදිලි ඇතුළත් වේ.

Toyota නිෂ්පාදනවල Avalon, Camry, Highlander, RAV4, Sienna සහ Corolla යන මාදිලි සහ එම මාදිලිවල සමහර දෙමුහුන් නිෂ්පාදන මෙලෙස යළි කැඳවනු ඇත.

නැවත කැඳවන Lexus මාදිලිවලට ES250 sedan සහ RX350 SUV යන මාදිලි ඇතුළත් වේ.

ආපසු කැඳවනු ලබන වාහනවල ඉදිරිපස මගී අසුනේ ඇති සංවේදක නිවැරදිව සවිකර නොමැති බව හඳුනාගෙන ඇත.

එම සංවේදක පරිපථයේ දෝෂ ඇතිකිරීමට හේතු වී එමඟින් එයාර් බෑග් පද්ධතිය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක නොවනු ඇති බවට සැකපළ වී තිබේ.

Toyota සහ Lexus අලෙවි නියෝජිතයන් විසින් මෙම මගී වර්ගීකරණ පද්ධතියේ සංවේදක පරීක්ෂා කර, අයිතිකරුවන්ට අවශ්‍ය නම් කිසිදු වියදමකින් තොරව ඒවා ප්‍රතිස්ථාපනය කරනු ඇත.

නැවත කැඳවීමට නියමිත Toyota පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මෝටර් රථ නැවත කැඳවීම 2024 පෙබරවාරි මැද වන විට දැනුම්දීමට නියමිතව තිබේ.

මෙය මෑත මාස කිහිපය තුළ Toyota සමාගමේ තුන්වැනි ප්‍රධාන නැවත කැඳවීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බරයේදී, Toyota සමාගම එක්සත් ජනපදයේ RAV4 ක්‍රීඩා උපයෝගිතා වාහන මිලියන 1.9ක් ආපසු කැඳවනු ලැබුවේ තියුණු හැරීම්වලදී බැටරිය සෙලවීමෙන් ගින්නක් ඇති කළ හැකි බව හෙළිවීමෙනි.

එම සමාගම ඔක්තෝබර් 26 වැනි දින Toyota Highlander SUV රථ 700,000කට වඩා වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවා ඉදිරිපස බම්පර් ආවරණ එකලස් කර ඇති සවිකිරීම් ටැබ් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළේය.

සමාගම පෙන්වා දෙන්නේ සුළු බලපෑමක් පවා එවැනි එකලස් කිරීමක් කඩාවැටීමට හේතුවිය හැකි අතර එය රියදුරන්ට අනතුරක් ඇති කිරීමට හේතු විය හැකි බවයි.