December 23, 2023

ඉන්දියාවේ චෙන්නායි නගරයට බලපෑ ගංවතුර සහ කාර්මික තෙල් කාන්දුවකින් පසු විෂ සහිත ගැඹුරු මුහුදු ජීවීන් සිය ගණනක් නගරාසන්න වෙරළබඩ ස්ථාන කිහිපයකින් දැකගත හැකි වී තිබේ.

ගැඹුරු මුහුදේ ජීවත්වන විෂ සහිත සමුද්‍ර ජීවීන් දෙදෙනකු වන බ්ලූ බට්න් නම් ජනපද ලෙස ජීවත්වන සත්ව විශේෂය සහ නිල් මුහුදු මකරුන් නම් සත්ව විශේෂය චෙන්නායි බෙසන්ට් නගර් ආසන්නයේ දැකගන්නට ලැබී ඇත.

මෙම මුහුදු ජීවීන් දෙදෙනාම විශාල වශයෙන් වෙරළට ගසාගෙන විත ඇති අතර, ඉන් බොහෝ සත්වයන් මියගොස් සිටි බවත් සතුන් කිහිපදෙනෙක් ජීවතුන් අතර සිටින බවත් චෙන්නායිහි පදිංචිකරුවකු සහ ඉන්දියාවේ පරිසරවේදීයකු වන ශ්‍රීවට්සන් රාම්කුමාර් පවසයි.

“මෙම සත්වයන් සිය ගණනක් කැඩී ගිය පාලම සහ අෂ්ටලක්ෂ්මී කෝවිල අතර වෙරළට ගසාගෙන ඇවිත් සිටියා,ඔවුන්ගෙන් විශාල පිරිසක් මියගොස් සිටියත් ජීවමානව සිටි නිල් මුහුදු මකරුන් සහ බ්ලූ බට්න් සතුන් කිහිපයක් මම දුටුවා,” ඔහු නිව්ස් මින්ට් නම් පුවත් සේවය වෙත පවසා ඇත.

ගැඹුරු ජලයේ ජීවත් වන මෙම අසාමාන්‍ය ජීවීන් වෙරළ තීරයේ කිසිවිටෙකත් දක්නට නොලැබේ.

මයිචෝන්ග් සුළි කුණාටුව තමිල්නාඩුවේ අගනුවරට පැය 48ක් තුළ සෙන්ටිමීටර 60ක වර්ෂාපතනයක් ගෙන ඒමෙන් පසු ඇතිවූ ගංවතුර සමග මෙම දසුන් දැකගත හැකි වී තිබේ.

ගංවතුරෙන් පසු නගරය දැවැන්ත කාර්මික තෙල් කාන්දුවකට ද ගොදුරු විය.

කෙසේවෙතත්,මේ සඳහා එහි කිසියම් සම්බන්ධයක් තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

මෙම ජීවීන් දෙදෙනාම විෂ සහිත වියහැකි බැවින් එය මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුකරන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී පාලිකාව වන ප්‍රශාන්ත් ඊ පවසා ඇත්තේ, මෙම ජීවීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන්ට අවවාද කළ බවයි.

“සුළිසුළං කැලඹීම්වලින් පසු, මුහුදු පත්ල සෝදාගෙන යෑම සාමාන්‍ය සිදුවීමක්. චෙන්නායි වෙරළේ, නිල් මුහුදු මකරුන් හඳුනා ගැනීම සාමාන්‍ය සිදුවීමක් නොවන නමුත් ඔවුන් වරින් වර දක්නට ලැබෙනවා, ඒවාට අත නොතැබීම හොඳයි ,” ඔහු පැවසීය.