December 22, 2023

රාජ්‍යය යුක්තිසහගත වනතෙක් පමණක් ජනතාව එයට පක්ෂපාති වියයුතු බවත්, රාජ්‍යය යුක්තිසහගත නොවී ත්‍රස්තවාදියෙක් වුවහොත් රාජ්‍යයට ජනතාව පක්ෂපාති වියයුතු නැති බවත්, තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමජික නුවන් බෝපගේ ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.

මේ වනවිට බැඳුම්කර වංචාකරුවකු ජනාධිපති ලෙසද, මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ පුද්ගලයෙක් ආරක්ෂාව භාර ඇමැතිවරයා ලෙසද, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ දාමරිකයෙක් පොලිස්පති ලෙසද පත් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එමනිසා, මේ සමාජය යමින් තිබෙන දිශානතිය යළිත් වෙනස් කර නැවතත් යුක්තිය වෙනුවෙන් අරගල කරන සමාජයක් ගොඩ නැගීමට හැකිවන්නේ වෘත්තිකයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවද එයට එකතු වියයුතු බව හෙතෙම පැවසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

”දේශබන්දුගේ පත්වීම තහවුරු කරන්න ඒක සාධාරණීකරණය කරන්න විෂය භාර ඇමැති ටිරාන් අලස් ඉතිහාසයේ කිසිදු ඇමැතිවරයෙක්, කිසිදු තැනැත්තෙක් නොකළ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා කරමින් සිටිනවා. පසුගිය කාලයේ අධිකරණය ක්‍රියාවලියට පිටින් යමින් මිනිස්සු මැරුවා. පොලිස් අත්අඩංගුවේ මිනිස්සු මැරුවා. දෑතේ විලංගු දාලා තියෙද්දී වෙඩි තිබ්බා. ඒ සියල්ල ඝාතන බව අපි දන්නවා. එහෙම වනවිට සමාජයේ කවුරුත් ඒ ඝාතන සාධාරණීකරණය කරන්න ඉදිරිපත් වුනේ නෑ. ඒක වරදක් බව දන්නවා. නමුත් ඔවුන්ගේ තියෙන අඩුපාඩු වහගන්න ඔවුන් ඒ වැරදි කළා. ඒත් දැන් ප්‍රසිද්ධියේ ඒ වරද සාධාරණීකරණය කරන්න ටිරාන් අලස් පෙළඹිලා.

ටිරාන් අලස් ප්‍රසිද්ධියේ කියනවා පුද්ගලයන් ඝාතනය කරන්න ඔවුන් සූදානම් කියලා. අපි අහනවා පුද්ගලයන් ඝාතනය කරන්න මොකටද රාජ්‍යක්. මොකටද ආණ්ඩුවක්. ආණ්ඩුවකට පුලුවන්ද ම්ලේච්ඡත්වයට යන්න. ඊට විරුද්ධව තමයි ආණ්ඩුව ක්‍රියාකරන්න ඕන. ආණ්ඩුව ක්‍රියා කරන්න ඕන මිනිසුන්ව සාධාරණ ක්‍රමවේදයකට නීතිය, යුක්තියේ රැකවරණයට යටත්ව තියාගන්නයි. එහෙම නැත්නම් ඒක ආණ්ඩුවක් නෙවෙයි. ඒක රාජ්‍ය ත්‍රස්තවාදයක්.

ඒ අනුව, ටිරාන් අලස් මේ වෙලාවේ කියන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඒකට එකඟ වෙන්න කියලා. 2015 දී දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න උතුරට කප්පන් දුන්න තැනැත්තෙක්, රාඩා ආයතනය යටතේ මුදල් විශුද්ධිකරණ වරදකට ලක්වෙලා සිරගත වුණ තැනැත්තෙක්, ඒ විතරක් නෙවෙයි පසුගිය කාලයේ අපරාධ ගණනාවකටම සැකකරුවෙක් ලෙස නම් කළ තැනැත්තෙක්. ඉතිං ඒ තැනැත්තා රාජ්‍යයේ ආරක්ෂාව භාර ඇමැතිවරයා විදියට සමාජයට පණිවිඩයක් දෙනවා දැන් රාජ්‍ය ත්‍රස්තවාදය කියලා.”

 

42.31%
17.27%
32.76%