December 21, 2023

වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයාව පීඩනයට පත්කළේ කුඩු නඩු කතාකරන නීතිඥවරු බවත්, කවුරු පහර දුන්නද තමන් එක් අඩියක්වත් පස්සට නොගන්නා බවත්, මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කළේය.

එමෙන්ම තමන් ඇමැති ධුරයේ සිටිනතාක් කල් කිනම් පුද්ගලයකු බලපෑම් කළද ඔවුන්ට ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

”කවුරු බලපෑම් කරන්න ආවත්, මම මේ ඇමැතිකමේ ඉන්නකල් කාටවත් බලපෑම් කරන්න දෙන්නේ නෑ. අද මං දැක්කා දාලා තියෙනවා මම කිව්වා කියලා මිනිස්සු මරන්න කියලා. මම කිව්වේ මිනිස්සු මරන්න නෙමෙයි. අපේ පොලීසිය ඔපරේෂන් කරනකොට අපිට ගැහුවොත් අපිටත් ගහන්න වෙනවා. ඒ දේ මම කිව්වා. අපිට එහෙම තීරණයක් අරගෙන මේ වැඩ කටයුත්ත කළේ නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් ඉවර කරන්න වෙන්නේ නෑ.

ඉස්සර ලොකු කුඩුකාරයෙක් ඇල්ලුවහම බලවතෙක්ගෙන් කෝල් එකක් එනවා. අරින්න කියලා. මට එකක් කියන්න පුළුවන් අපේ ජනාධිපතිතුමත් මාත් ඉන්න කල් එවැනි දේවල්වලට අපි ඉඩ තියන්නේ නෑ.

සමහර නීතිඥවරු ගැන මම කතා කළා කියලා සමහර නීතිඥවරු කලබල වෙලා. මං කිව්වේ ඇත්ත. අපේ රටේ ඉන්නවා ලොකු නීතිඥ මහත්වරු. කුඩු නඩු ගෙනාවහම අපිට ඒවා භාරගන්න බෑ කියනවා. නමුත් අතලොස්සක් ඉන්නවා මිලියන, බිලියන ගණන්වලට ඒවා කතා කරනවා. ඒ අය කියනවා ඕන නඩුවක් කතා කරන්න අයිතිය තියෙනවා කියලා. මාත් කියනවා එහෙම තියෙනවා. නමුත් ඒවා සදාචාරාත්මකද කියන එක තමා මම කිව්වේ.

වැඩබලන පොලිස්පතිව පත් කරනකොට අපි මොන තරම් ප්‍රශ්න තිබුණ ද? ජනාධිපතිතුමාට මොන තරම් පෙෂර් එකක් දුන්නද පිට මිනිස්සු. ඒ අය කවුද කියලා මම බලාගෙන යනකොට, එයාලා තමා මේ කුඩු නඩුවලට කතා කරන නීතිඥ මහත්වරු. ඔය කවුරු පහරදුන්නත් මට මම අඩියක්වත් පස්සට ගන්නේ නෑ.”

42.31%
17.27%
32.76%