December 20, 2023

මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් නීතිඥයන් සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය සහ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කණස්සල්ල පළකර තිබේ.

මෙරට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමට සම්බන්ධ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ප්‍රවීණ නීතිඥයන් කිහිපදෙනකුම විරුද්ධ වූ බව ඇමැති අලස් පසුගියදා ප්‍රකාශ කළේය.

මහජන ආරක්‍ෂක ඇමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේ නීතිඥයන් විශාල මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටින බැවින් මෙම පත්වීමට විරුද්ධ වන බවයි.

නීතිඥයන්ට අදාළව කරන ලද ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙන්නේ, සේවාදායකයකු වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතිවාසිකමක් වන අතර, එම අයිතියට එල්ල වන ඕනෑම තර්ජනයක් පොදුවේ වෘත්තියට එල්ල කරන ප්‍රහාරයක් බවයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අතර නිලධාරීන් ඉවත් කිරීමේ කටයුතුවලදී 2002 අංක 5 දරන පනතට අනුව ධුර කාලය තුළ ඔහුට ආරක්‍ෂාව ඇති බැවින් එම තනතුර පිරවීම සඳහා හැකි උපරිමය කිරීම අතිශයින් වැදගත් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසන්නේ, මීළඟ ස්ථීර පොලිස්පති පත්වීමේදී ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමට හැකි ආදර්ශවත් සහ කිසිදු කැළලක් නොමැති පොලිස් සේවයක් ඇති නිලධාරියකු පත්කිරීම අතිශයින් වැදගත් බවයි.

42.31%
17.27%
32.76%