December 19, 2023

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ (18) පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ල කිරීමෙන් පසුව කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථානය ඉදිරිපිටට පැමිණි මෙම පිරිස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අනුමැතිය දුන් බව කියන ලේඛන කිහිපයක් ද ජනමාධ්‍යට පෙන්වමින් අදහස් දක්වා තිබේ.

එම අවස්ථාව වනවිට හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ප්‍රකාශයක්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත ඖෂධ තුනක් ආනයනය සඳහා පසුගිය ජූනි 25 වැනිදා ඖෂධ සමාගමකට ලිපියක් යොමුකර ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීමට එම ලේඛනය පමණක් වුව ප්‍රමාණවත් යැයි අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර එහිදී පවසා තිබේ.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම පමාකරන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේ හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

42.31%
17.27%
32.76%