December 18, 2023

බදු නොගෙවන ලද සිගරට්, හොර රහසේ විදේශවලින් ගෙන්වා සකසන සිගරට් සහ ව්‍යාජ නිෂ්පාදන 2023 තුන්වැනි කාර්තුවේදී මෙරට වෙළඳපොළේ සියයට 29 දක්වා ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල සිගරට් අලෙවිය දිගු කාලීනව පහත වැටෙමින් පවතින අතර නීතිවිරෝධී නිෂ්පාදන ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ පදනම් වූ පර්යේෂණ කණ්ඩායමක් විසින් කලකට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබිණි.

නීතිවිරෝධී විකුණුම් ඉහළ යෑමට මුදල් අර්බුදයක් සහ උද්ධමනය හේතු වී ඇති අතර එමඟින් මිලදී ගැනීමේ හැකියාව අඩු වී තිබේ.

බදු ඉහළ දැමීම හේතුවෙන් ජාවාරම්කරුවන් ගෙන්වන නිෂ්පාදන සඳහා වඩාත් තරඟකාරී වෙළෙඳ පොළක් නිර්මාණය වී ඇත.

2023 වසරේ බදු වැඩිකිරීම් දෙකකින් පසු නීත්‍යනුකූල සිගරට්ටුවක් රුපියල් 125ක් පමණ වූ අතර හොර රහසේ ගෙන එන ලද සිගරට් රුපියල් 80ත් 100ත් අතර විය.

‘මැන්චෙස්ටර්’ නම් සන්නාමයක් නැගෙනහිර ආසියාවේ සිට විශාල වශයෙන් හොර රහසේ ගෙනඑන ලද බව වාර්තාවේ.

2017 සහ 2018 වර්ෂවලදී නීත්‍යනුකූල සිගරට් අලෙවිය කූරු මිලියන 3,150ක් පමණ වූ අතර ජාවාරම් නිෂ්පාදන සියයට 14ක් පමණ විය.

2018 මුදල් අර්බුදයෙන් පසුව 2019 දී නීත්‍යනුකූල විකුණුම් මිලියන 2,621 දක්වා පහත වැටිණි.

එහිදී නීති විරෝධීව විකුණන ලද සිගරට් කූරු ප්‍රමාණය මිලියන 614ක් හෝ සියයට 21ක් ලෙස ගණන් බලා ඇත.

2020 දී නීත්‍යනුකූල විකුණුම් මිලියන 2,287 දක්වා තවදුරටත් පහත වැටී ඇති අතර නීති විරෝධී සිගරට් කූරු ප්‍රමාණය මිලියන 722 හෝ සියයට 24 දක්වා වැඩි වී තිබේ.

2021 දී නීත්‍යනුකූල සිගරට් අලෙවිය මිලියන 2,341 දක්වා ඉහළ ගොස් ඇති අතර නීතිවිරෝධී දුම්වැටි මිලියන 633ක් හෝ වෙළඳපොළෙන් සියයට 21ක් දක්වා පහත වැටී ඇත.

2022 දී නීත්‍යනුකූල සිගරට් අලෙවිය තොග මිලියන 2,825 දක්වා ඉහළ ගොස් ඇති අතර නීතිවිරෝධී විකුණුම් මිලියන 538 දක්වා පහතයමින් සියයට 16ක් දක්වා පහත වැටී ඇත.

විදේශ විනිමය හිඟය සහ ආනයන පාලනයන් හේතුවෙන් හොර රහසේ සිගරට් ගෙන්වීම පහත වැටී ඇති බව සමීක්ෂණයෙන් පෙන්වා දෙයි.

කෙසේවෙතත්, 2023 පළමු භාගයේදී, පළමු බදු ඉහළ දැමීමෙන් සහ වෙළඳාම ක්‍රමානුකූලව සාමාන්‍යකරණය වීමත් සමග මාසික නීති විරෝධී දුම්වැටි කූරු භාවිතය මිලියන 58.7ක් පමණ ලෙසත් වාර්ෂිකව ඇස්තමේන්තුව කූරු මිලියන 716ක් ලෙසත් ගණනය කර ඇත.

දෙවන මිල ඉහළ දැමීමෙන් පසු, මාසික විකුණුම් මිලියන 74.8ක් හෝ වසරකට කූරු මිලියන 898ක් දක්වා වැඩි වී ඇති බවට ගණන් බලා ඇත.

නීත්‍යනුකූල විකුණුම් බිලියන 2.3 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය සියයට 29ක නීති විරෝධී වෙළෙඳ පොළකට මග පාදයි.

මෙම සමීක්ෂණය පදනම් වී ඇත්තේ පුද්ගලයන් 2,50 ක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා මත බව සමීක්ෂණ සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ සිගරට් පරිභෝජනයේ භූ දර්ශනයට වසර ගණනාවක් පුරා සුරාබදු සංශෝධන මාලාවක් විසින් සැළකිව යුතු ලෙස බලපෑමක් කර ඇති බව ද සමීක්ෂණ සමාගම පවසයි.

මෙම සංශෝධන, නොදැනුවත්වම, ඒවායේ දැරිය නොහැකි මිල නිසා දුම් පානය කරන ජනගහනය තුළ නීතිවිරෝධී දුම්වැටි සඳහා ආකර්ෂණය ඉහළයෑමට දායක වී ඇති බවත් පවත්නා උද්ධමන පීඩනයන් සහ අඛණ්ඩ බදු ඉහළ දැමීම් සමග, පාරිභෝගිකයන්ගේ සැබෑ මිලදී ගැනීමේ ශක්තිය කැපී පෙනෙන පහත වැටීමක් දැකිය හැකි බවත් සමීක්ෂණ සමාගම පෙන්වා දෙයි.

එක් සිගරට්ටුවකට රුපියල් 87.5ක සාමාන්‍ය බද්දක් ගෙවන විට හොර සිගරට්වල ආදායම රුපියල් බිලියන 79ක් පමණ වී තිබේ.

හොර සිගරට්ටුවක් රුපියල් 80 – 100ත් අතර විකිණීමෙන් ලොකු ලාභයක් ලැබීමේ හැකියාව තිබේ.

හොර සිගරට් වෙනත් භාණ්ඩවල සඟවා වරාය සහ ගුවන් තොටුපළ හරහා පැමිණි බවත් සමහර නිෂ්පාදන ධීවර බෝට්ටු හරහා පැමිණි බවත් ඇතැම් ඒවා අතින් ගෙනගොස් ඇති අතර විදේශීය සංක්‍රමණික සේවකයින් ද හොර සිගරට් රැගෙන එන බවත් සමීක්ෂණ සමාගම පවසයි.

“මේවාට අමතරව ජාවාරම්කරුවන් කන්ටේනර් තුළ නීති විරෝධී සිගරට් සඟවනවා. මේ අනුව ඔවුන්ට එකවර විශාල ප්‍රමාණයක් හොර රහසේ ප්‍රවාහනය කිරීමට හැකි වනවා ” යැයි ද එම සමීක්ෂණ සමාගම් වාර්තාවේ දැක්වෙයි.

අඩි 40 කන්ටේනරයක් කූරු මිලියන 10ක් හොර රහසේ ප්‍රවාහනය කිරීමෙන් ලැබූ ලාභය රුපියල් මිලියන 700ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.

හසුවුවහොත් දඩය රුපියල් මිලියනයකි.

සමීක්ෂණ සමාගම පැවසුවේ ජාවාරම් අවම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග දැඩි කළ යුතු බවයි.

එහෙත් අධික බදු අයකිරීම නිසා මහජනතාවද මිලදී ගනිමින් සිටියි.

මීට අමතරව බීඩි අලෙවිය ද වර්ධනය වී ඇති බව සමීක්ෂණ සමාගම පවසයි.

බීඩි අලෙවිය 2017 දී කූරු බිලියන 3.78 සිට 2022 දී බිලියන 5.9 දක්වා වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර 2023 දී එය බිලියන 6.51ක් වී තිබේ.

42.31%
17.27%
32.76%