December 15, 2023

ගොවි ජනතාවට ලබානොදී පොහොර තොග වැඩි මිලට කර්මාන්ත ශාලාවලට අලෙවි කළ බව කියන සමාගම් හතක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.

2018 වසරේ සිට ආනයනය කළ පොහොර මෙලෙස වංචනික ලෙස අලෙවි කළ සමාගම්වලට අදාළ නඩුව ඊයේ (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙදී කැඳවූ අවස්ථාවේදි එම නියෝගය ලබාදී තිබේ.

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් ආනයනය කළ පොහොර තොග, අවභාවිත කර ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සමාගම් කිහිපයකට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇත.

ඒ අනුව අදාළ නීති කෘත්‍ය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් දෙදෙනකු විසින් සිදුකළ පැමිණිල්ලට අනුව පැවැත්වූ විමර්ශනයේදී මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය කරගත් බවය.

ගෙන්වන ලද මෙම පොහොර අඩු මිලට ගොවීන්ට ලබාදිය යුතු වුවද පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමාගම් කිහිපයක් ඒවා ගොවීන්ට ලබානොදී වෙනත් කර්මාන්තශාලා වෙත වැඩි මිල ගණන් යටතේ අලෙවිකර ඇති බවට කරුණු තහවුරු වී ඇති බවද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් 18න් 07ක් පමණ මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම එක් සමාගමක් වංචනිකව රුපියල් කෝටි 10ක් පමණ මුදල් අවභාවිත කර ඇති බවට අනාවරණ වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සමාගම් හතක බැංකු වාර්තා කැඳවීමට නියෝග කළේය.

42.31%
17.27%
32.76%