December 14, 2023

‘ඕස්ට්‍රේලියාවේ දරුණුතම කාන්තා දාම ඝාතකයා’ ලෙස හංවඩුගසා සිටි කැත්ලීන් ෆොල්බිග් යුක්තිය සඳහා වසර 24ක් සිදුකළ අරගලයකින් පසු තම දරුවන් සිව්දෙනා ඝාතනය කිරීමේ චෝදනාවෙන් නිදොස්කොට නිදහස්වී තිබේ.

කැත්ලීන් ෆොල්බිග් සිය දරුවන් සිව්දෙනාගේ මරණයට වරදකාරිය වී දශක දෙකක් සිරගතව සිටියාය.

ඇයට එරෙහි සියලු චෝදනා සම්බන්ධයෙන් ඇයගේ වරද පිළිබඳව “සාධාරණ සැකයක්” ඇති බව පරීක්ෂණයකින් පෙනී යෑමෙන් පසු ජුනි මාසයේදී ඇය සිරෙන් නිදහස් විය.

මිනීමැරුම් චෝදනා තුනක්, සාවද්‍ය මනුෂ්‍ය ඝාතන එකක් සහ ද්වේෂසහගත ලෙස බරපතළ ශාරීරික හානියක් සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ ඇයව අපරාධ අභියාචනාධිකරණයේදී නිදහස් කෙරිණි.

මාසයක සාකච්ඡාවකින් පසුව, අගවිනිසුරු ඇන්ඩෲ බෙල්, විනිසුරු ජුලී වෝඩ් සහ අගවිනිසුරු ඉයන් හැරිසන් යන පිරිස ෆොල්බිග්ගේ වරද සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති බව සොයාගත්හ.

ෆොල්බිග් වැරදි ලෙස සිරගත කිරීම සඳහා වන්දි ඉල්ලා සිටින බව ද ඇගේ නීතිඥ රානි රෙගෝ තහවුරු කළාය.

අද ලැබුණු තීන්දුවත් සමග ඇයට වාර්තාගත වන්දි ගෙවීමක් සිදුවිය හැකි බව ඇගේ නීතිඥයා ප්‍රකාශ කර තිබේ.

1992 දී, ලින්ඩි සහ මයිකල් නම් දෙදෙනකුට ඔවුන්ගේ දියණියගේ මරණය සම්බන්ධයෙන් සමාව දී නිදහස් කිරීමෙන් පසු ඩොලර් මිලියන 1.3ක් වන්දි ලබාගෙන ඇති අතර, නිව් සවුත් වේල්ස් නීතිපති මයිකල් ඩේලිගේ ප්‍රකාශකයකු පැවසුවේ ෆොල්බිග් හෝ ඇයගේ නියෝජිතයන් ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් රජය ප්‍රවේශමෙන් සළකාබලනු ඇති බවයි.

‘කැත්ලීන් ෆොල්බිග්ට යුක්තිය’ නම් පාඨය මුද්‍රිත ටී ෂර්ට් පැළඳ සිටි ආධාරකරුවන් පිරිසක් අධිකරණය තුළ තීන්දුව ප්‍රකාශ කිරීමේදී අත්පොළසන් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

උසාවියෙන් පිටතට පැමිණි කැත්ලීන් ෆොල්බිග් පැවසුවේ, තමාට සහාය වීමට බොහෝ කැපකිරීම් කළ ඇයගේ පවුලේ අය, මිතුරන්, විද්‍යාත්මක සහ නීති වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමට කෘතඥ වන බවයි.

“මම කවදාවත් නොකළ සහ කවදාවත් කරන්න බැරි දෙයක් ගැන ඔවුන් මට චෝදනා කළා.මම විඳපු දුක් වෙන කාටවත් කවදාවත් විඳින්න වෙන්නේ නෑ කියලා මම හිතනවා.” යැයි කැත්ලීන් ෆොල්බිග්ට සඳහන් කළාය.

ෆොල්බිග් පැවසුවේ විද්‍යාත්මක හා ජානමය සොයාගැනීම් මගින් තම දරුවන්ගේ මරණ පිළිබඳව පිළිතුරු සපයා තිබීම ගැන තමන් කෘතඥ වන බවයි.

පැට්‍රික් (මාස 8), ලෝරා (මාස 10) සහ සාරා (මාස 19) මෙන්ම ඇගේ පුත් කැලේබ් (දින 19) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මව වන ෆොල්බිග් 2003 දී වසර 40ක් දක්වා සිරගත කරන ලදී.

ඇගේ සියලුම දරුවන් හදිසියේම මිය ගිය අතර ඔවුන් කිසිවකුට දෙවැනි උපන්දිනය සැමරීමට අවස්ථාවක් ලැබුණේ නැත.

“මම මගේ දරුවන්ට ආදරෙයි, මම සැමවිටම එහෙමයි.” යැයි අධිකරණයෙන් පිටතදී ෆොල්බිග් කඳුළු සලමින් ප්‍රකාශ කළාය.

ෆොල්බිග් සිය දශක දෙකක සිර ජීවිතය පුරාම ඇගේ නිර්දෝෂීභාවය ස්ථිරව පවත්වා ගෙන ගිය අතර, මෙම වසර මුලදී දරුවන්ගේ හදිසි මරණ පිළිබඳ පරීක්ෂණයකින් ඇය නිවැරදි බව සනාථ විය.

ෆොල්බිග් දරුවන් ස්වාභාවික හේතූන් නිසා හෝ දුර්ලභ ජාන විකෘතියක් නිසා මිය යන්නට ඇතැයි යන සාධාරණ සැකය එම පරීක්ෂණයෙන් මතුවිය.

2021 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද නව විශේෂඥ වෛද්‍ය සාක්‍ෂිවලින් හෙළිවූයේ සාරා සහ ලෝරාට CALM2 නමින් හඳුන්වන ජාන විකෘතිය තිබී ඇති අතර එය හෘද රෝග, අක්‍රමවත් හෘද ස්පන්දන සහ හදිසි මරණයට හේතු විය හැකි බවයි.

මෙම මාරාන්තික ජානමය ප්‍රභේදය වසර ගණනාවකට පෙර වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයානොගත් නිසා ළමුන් මියයන අවස්ථාවේ දී එය විමර්ශනය කිරීමට ඉඩ නොතිබෙන්නට ඇති බව පරීක්ෂණයෙන් පැවසේ.

විශේෂඥයන් නිගමනය කළේ පැට්‍රික් අපස්මාර රෝගාබාධයක් අතරතුර ඇති වූ මොළයේ ආබාධයක් හේතුවෙන් මියගොස් ඇති නමුත් කැලේබ්ගේ මරණයට හේතුව තීරණය කිරීමට ඔවුන්ට නොහැකි බවයි.

අගවිනිසුරුවරයා තීරණය කළේ ළමුන් තිදෙනෙකුගේ මරණ සඳහා “හඳුනාගත හැකි හේතුවක්” ඇති අතර ෆොල්බිග් ඇගේ දරුවන් ඝාතනය කළ බවට සෘජු සාක්ෂි නොමැති බවයි.

“සැළකිව යුතු හා පුළුල් නව විද්‍යාත්මක සාක්ෂි” ෆොල්බිග්ගේ වරද පිළිබඳ “සාධාරණ සැකයක්” ඇති කර ඇති බව ඔවුහු නිගමනය කළහ.

නිව් සවුත්වේල්ස් නීතිපති මයිකල් ඩේලිගේ ප්‍රකාශකයකු පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ මෙවැනි ආකාරයේ තීන්දුවක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති අතර වරදට පත්කිරීම් සමාලෝචන කොමිෂන් සභාවකදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට විවෘත බවයි.

අවසානයේ කැත්ලීන් ෆොල්බිග් පැවසුවේ “මම දන්නවා මම වාසනාවන්තයන්ගෙන් කෙනෙක් කියලා. මගේ ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට මට අවස්ථාවක් තිබෙනවා” යනුවෙනි.