December 14, 2023

ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත්බෑගයේ තිබූ අමෙරිකානු ඩොලර් 14,000ක මුදලක් (රුපියල් ලක්ෂ 50ක් පමණ) චීන ජාතිකයකු සොරාගෙන තිබේ.

ඒ අනුව, අදාළ චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය ඊයේ (13) රාත්‍රියේ සිට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

47 හැවිරිදි ලෙබනන ජාතිකයා සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇය සමඟ ඊයේ උදෑසන 07.20ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

අදාළ චීන ජාතිකයා ලෙබනන ජාතිකයාගේ අත් බෑගය විවෘත කර මුදල් පසුම්බියේ තිබූ මුදල් සොරා ගෙන, ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18ක මිටියක් මුදල් පසුම්බිය තුළට දමා තිබේ.

පසුව සිය පසුම්බියේ වූ ඩොලර් 14,000ක මුදල අස්ථානගත වී ඇති බව ලෙබනන ජාතිකයා දැනගෙන ඇති අතර, ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

පොලිසිය විසින් ගුවන් යානා කාර්ය මණ්ඩලය සමඟ සිදු කළ මූලික විමර්ශනවල දී චීන ජාතිකයා මෙම මුදල් තොගය සොරා ගෙන ඇති බව තහවුරු කර ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට අතුරුදන් වී ඇති චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

42.31%
17.27%
32.76%