December 14, 2023

රාජාණ්ඩුව අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් තායිලන්තයේ අධිකරණයක් විසින් මෑතකදී තේරීපත් වූ නීති මන්ත්‍රීවරියක්, රාජාණ්ඩුව ආරක්ෂා කරන මතභේදාත්මක නීතියක් යටතේ වැරදිකාරිය කර වසර හයක සිර දඬුවමක් නියමකර තිබේ.

චුදිත රුක්චනොක් ශ්‍රීනෝර්ක් මන්ත්‍රීවරිය බැංකොක් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලට පැමිණියේ ඇගේ සහෝදර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැස්වෙමින් සිටියදීය.

“අද නව පාර්ලිමේන්තුව එහි පළමු සැසිවාරය සඳහා රැස්වන බැවින් නඩු විභාගය කල්දමන ලෙස මම ඉල්ලීමක් ඉදිරිපත් කළ නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මම තීන්දුව අහන්න ආවා,” යැයි ඇය ජනමාධ්‍යවේදීන්ට පැවසුවේ තමන්ට සහාය ලබාදීමට එහි සිටි පක්ෂ නායකයා අසල සිටගෙනය.

ට්විටර් (X) සමාජ මාධ්‍ය වේදිකාවේ මීට වසර දෙකකට පෙර පළකළ බව කියන පෝස්ට් දෙකක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය.

ඒ, කොවිඩ් එන්නතකට කිරීටය සම්බන්ධවීම පිළිබඳ පෝස්ටුවක් සහ 18 වැනි සියවසේ සිටි ප්‍රංශ දාර්ශනික ඩෙනිස් ඩිඩරොට් විසින් කළ රාජාණ්ඩු විරෝධී ප්‍රකාශයක් උපුටා දක්වමින් නැවත ට්වීට් කිරීම මගින් රාජාණ්ඩුව අපකීර්තියට පත් කරන ලද බවට චෝදනා කරමිනි.

ලෙස් මැජෙස්ටේ(Lese majeste) ලෙස හැඳින්වෙන රාජාණ්ඩුව ආරක්ෂා කරන තායිලන්තයේ අපරාධ නීති සංග්‍රහයේ 112 වගන්තිය යටතේ රුක්චනොක්ට වසර තුනක සිරදඬුවමක් නියම විය.

ඇය පරිගණක අපරාධ පනත යටතේ ද වරදකරු වූ අතර, අන්තර්ජාල ක්‍රියාකාරකම් ආවරණය වන පුළුල් විධිවිධාන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් ලෙස විවේචනයට ලක්ව ඇත.

ඇය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇප ඉල්ලා තිබේ.

එය ප්‍රතික්ෂේප වුවහොත් ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි වනු ඇත.

29 හැවිරිදි රුක්චනොක්, මැයි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ආසනයක් දිනාගත්තේ, තායි දේශපාලනයේ දෙදරා ගිය ප්‍රගතිශීලී Move Forward පක්ෂය ලබාගත් කම්පන සහගත ජයග්‍රහණයේ කොටසක් ලෙසිනි.

පැති මාරුකර ප්‍රගතිශීලී ව්‍යාපාරයට සම්බන්ධවීමට පෙර ඇය මුලින් ගතානුගතික රජයේ ආරක්ෂක සමජිකවක්ද වූවාය.

රාජාණ්ඩුව සහ එය ආරක්ෂා කරන නීති හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ විවිධ පීඩන මතුව තිබේ.

2020 දී, ප්‍රධාන වශයෙන් තරුණයෝ ඇතුළු දසදහස් ගණනක් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහ පොදුවේ නම් කරන ලද “112 නීතිය” අහෝසි කරන ලෙස ඉල්ලා තායි නගර කිහිපයක පෙළපාලි ගියහ.

ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ පෙර නොවූ විරූ ආකාරයේ නඩු පැවැරීම්ය.

2021 දී ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරීහු අදාළ නීතිය අවලංගු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් දියත් කළහ.

විචාරකයන් පවසන්නේ දේශපාලන විසම්මුතිය නිෂ්ප්‍රභ කිරීමට ලෙස් මැජෙස්ටේ නීතිය බොහෝ විට භාවිත කරන බවයි.

එම නීතිය මගින් රජුට, ඔහුගේ සමීපතම පවුලට සහ රීජන්ට්වරයාට අපහාස කිරීම වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කරයි.