December 14, 2023

වේගයෙන් පැතිර යන වාතයෙන් බෝවන දිලීර රෝගයක් හේතුවෙන් මෙරට රබර් වගාවට දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබේ.

මේ හේතුවෙන් රබර් වගාවන් රැසක් වේගයෙන් අහිමි වෙමින් පවතින අතර එය බෝග නිෂ්පාදනයට දැඩි ලෙස බලපෑම් කරමින් සිටියි.

Forbes & Walker Commodity Brokersහි නවතම රබර් වෙළෙඳපොළ වාර්තාව හෙළිකර ඇති ආකාරයට රබර් වතුවලින් සියයට 51ක් පමණ පත්‍ර මත තිත් ඇතිවීමේ මෙම රෝගයට ගොදුරු වී තිබේ.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවලට අනුව හෙක්ටයාර 98,000ක රබර් වගාවෙන් හෙක්ටයාර 50,000කට අධික ප්‍රමාණයක් රෝගයට ගොදුරු වී ඇත.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව අත්විඳින අඛණ්ඩ වර්ෂාව වැනි අයහපත් කාලගුණික තත්ත්වයන් අස්වනු නෙළීමේ ක්‍රියාවලියට බාධා ඇති කර තිබෙන අතර එය මෙම රෝග තත්වය තවත් උග්‍රකර තිබේ.

වසර පහකට පෙර මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ විට, පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල හෙක්ටයාර 10,000ක් පමණ බලපෑමට ලක්විය.

බලපෑමට ලක් වූ වගාවේ ප්‍රමාණය 2020දී හෙක්ටයාර් 20,000 දක්වාත් 2021දී හෙක්ටයාර 40,000 දක්වාත් වැඩිවිය.

දිලීර රෝගය මුලින්ම වාර්තා වූ දා සිට පසුගිය වසර පහ තුළ රබර් නිෂ්පාදනයේ සියයට 14ක පහත වැටීමක් සිදුවී තිබේ.

රබර් පර්යේෂණ ආයතනයට අනුව 2012 වසරේ රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 152,100ක් වූ අතර 2022දී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,870ක් වාර්තා කරමින් පරිමාව අඩකට වඩා අඩුවිය.

“සෑම වසරකම අඛණ්ඩව පහත වැටෙන නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන භෝගයක් සඳහා වැඩෙන ඉල්ලුම සපුරාලීමට ඇති හැකියාව පිළිබඳ බරපතල කණස්සල්ලක් මතුකර තිබෙනවා. දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල රබර් කිරි නිෂ්පාදනය සියයට 30කින් පමණ කඩා වැටිලා ,” Forbes & Walker Tea Brokers සිය වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම දිලීර රෝගය මුලින්ම මැලේසියාවේ 1987දී සහ නැවතත් 2003 දී ආරම්භ වූ බව කියනු ලැබේ.

එය රබර් නිෂ්පාදනය කරන අසල්වැසි ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය වැනි ආසියානු රටවලට ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, එය අප්‍රිකාවේ රබර් නිෂ්පාදනය කරන රටවලට බලපාන බවක් නොපෙනෙන්නේ ආසියාව හා සසඳන විට අප්‍රිකාවේ ආර්ද්‍රතා මට්ටම් නිසා විය හැකිය.

මේ අතර, වැවිලිකරුවන්ගේ සංගමයට අනුව, 2023 වසර අවසන් වන විට රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 60ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජාතික රබර් නිෂ්පාදනයෙන් 2021 සිට 2022 දක්වා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක පමණ පාඩුවක් සිදුවී ඇත.

රබර් කර්මාන්තයේ ප්‍රධාන සැලැස්මේ දක්වා ඇති ප්‍රධාන ප්‍රතිසංස්කරණ සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජීව විද්‍යාත්මක හා යාන්ත්‍රික ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවට දේශීය අවශ්‍යතාව සඳහා රබර් මෙට්‍රික් ටොන් 140,000ක් පමණ අවශ්‍ය නමුත් දැනට නිෂ්පාදනය කරන්නේ ඉන් අඩක් පමණි.

රබර් නිෂ්පාදන නිෂ්පාදකයින් අගය එකතු කළ අංශය යටතේ විදේශ විනිමය මාර්ගයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් පමණ මෙරටට ගෙනඑයි.

42.31%
17.27%
32.76%