December 13, 2023

මෙරට ක්‍රිකට් උපදේශකයකු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හමුවී ඇති බව වාර්තා වේ.

47 හැවිරිදි මහේල පසුගියදා පැවති ලෝක කුසලාන තරගාවලියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් ඉන්දියාවට ගිය අවස්ථාවේදී කණ්ඩායම පරාජයට පත්වීමට හේතු පිළිබඳ සාකච්ඡා කළ බවත්, එහිදී ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා වන ඉදිරි සැලසුම් ද හෙළිකර ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රැස්වීමට සහභාගී වූ නියෝජිතයකුගෙන් වාර්තා වුණේ, ඔහුගේ කොන්ත්‍රාත්තුව තවත් මාස තුනක කාලයක් පවතින අතර ඔහු තනතුරින් ඉල්ලා අස්වන බවක් ද නොපෙන්වූ බවයි.

“මේ ආකාරයේම තනතුරකට තවත් හිටපු නායකයකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සනත් ජයසූරියගේ සේවය ලබාගැනීමට අපි සළකා බලනවා. සියල්ල හොඳින් සිදුවී සනත් එම වගකීම භාර ගන්නේ නම්, ඔහු වෙලාවකට ඉන්න, වෙලාවකට අතුරුදහන් වන මහේල වගේ නෙවෙයි, පූර්ණ කාලීන උපදේශකයා වනු ඇති. සනත් විසින් පුහුණු කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය ද අධීක්ෂණය කරයි” එම නියෝජිතයා වැඩිදුරටත් පවසා ඇත.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ජාතික තේරීම් කමිටුවක් ද පත්කර තිබේ.

නව තේරීම් මණ්ඩලය ඊයේ (දෙසැම්බර් 12) සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය ඒ සඳහා අපේක්ෂකයන් 11 දෙනකුගේ ලැයිස්තුවක් එවා තිබූ අතර, ඊට පෙර තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු සාමාජිකයන් කිහිපදෙනෙකුද ඊට ඇතුළත්ව සිටි බව දැනගන්නට ඇත.

“විශේෂයෙන්ම ලෝක කුසලාන තරඟාවලියේ පරාජයෙන් පසුව ඇමැතිවරයාට නව මුහුණු අවශ්‍ය වුණා. ඇමැතිවරයාට අනුව, හිටපු මණ්ඩලය කණ්ඩායමේ සංයුතිය පිළිබඳ අත්හදාබැලීම් කරමින් සිටියා මිසක් කිසිදු වගවීමක් තිබුණේ නැහැ ,” යැයි එම නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%