December 13, 2023

ඉදිරි වසර 18ක් සඳහා මෙරට අවශ්‍යතා සපුරාලීමට හැකි තරම් වාණිජ වැවිලි රට සතුව තිබියදී පසුගිය වසර තුනක කාලය තුළ ෆයිනස් දැව ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 4,800ක මුදලක් වැයකර ඇති බව ආංශික අධීක්ෂණ කාරක සභාවකදී අනාවරණ වී තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවිය යුතු බවයි.

මෙරට හෙක්ටයාර 16,000කට වැඩි ෆයිනස් වගාවන් ඇති අතර, ඉන් හෙක්ටයාර 1200ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද හෙක්ටයාර 1764ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින්ද පාලනය කෙරේ.

දැව කැපීම සඳහා වන අධික පිරිවැය සහ මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ හැකිළීම මත ෆයිනස් දැව සඳහා ඇති ඉල්ලුම අඩු වී තිබේ .

දේශීය ෆයිනස් දැව සඳහා තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා දැව කැපීමේ පිරිවැය රුපියල් 11,125 සිට රුපියල් 8,500 දක්වා අඩු කිරීමට තම කමිටුව නිර්දේශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසයි.

එමෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ ලාභ ආන්තිකය සියයට 25කින් අඩුකරන ලෙස ඔහු සඳහන් කර ඇත.

දැව සෑදීමේදී ප්‍රවාහනය සහ ඇඹරීම සම්බන්ධයෙන් ආදායම් උත්පාදන අවස්ථා රාශියක් නිර්මාණය වන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

42.31%
17.27%
32.76%