December 13, 2023

කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කර බද්ද අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඉදිරියේදී එම බද්ද සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.

සංවර්ධන නිලධාරීන් සමඟ ඊයේ (12) පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

අක්කර බද්ද යනු කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් 100 බැගින් අය කර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවර්ධන නිලධාරීන් හරහා එකතු කරන බද්දක් වන අතර, එම මුදල රජයේ ආදායමට බැර කෙරේ.

විශේෂයෙන්ම රජයට මෙම බද්ද අය කිරීමෙන් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් අයකර ගැනීම සඳහා වැය කිරීමට සිදුවන බැවින්, අක්කර බද්ද අයකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් රැස්වීමේදී පවසා ඇත.

මීට දශක කිහිපයකට පෙර පාපැදි බලපත්‍ර ලබාදීම මෙන්ම ගුවන්විදුලි බලපත්‍ර ලබාදීම වැනි කටයුතු සිදුකළද පසුව ඒවා අත්හිටුවන ලදී.

නමුත් අක්කර බද්දක් අයකර රජයට අහිමිවන ආදායම රුපියල් බිලියනයක් පමණ වේ.

මෙම මුදල ගොවීන්ගෙන් අය කිරීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

42.31%
17.27%
32.76%