December 12, 2023

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසර එකහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි කවියකු සහ ගුරුවරයකු වන අහනාෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

අහ්නාෆ් ජසීම් 2020 මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ‘නවරසම්’ කෘතියට සම්බන්ධ අන්තවාදී චෝදනා සම්බන්ධයෙන් ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු ළමුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හා ඔහුගේ සාහිත්‍ය කටයුතු හරහා මුස්ලිම් අන්තවාදයට අනුබල දීම යන චෝදනා මත ය.

ඔහු ඉගැන්වූ විශිෂ්ටතා පාසලේ සිසුන්ට අන්තවාදී කතා පැවැත්වූ බවට 2020 නොවැම්බර් මාසයේදී ජසීම්ට පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකෙරිණි.

කෙසේවෙතත්, මාස 19 කට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු දැඩි කොන්දේසි යටතේ 2021 දෙසැම්බර් මාසයේදී ඔහුට ඇප ලබාදෙන ලදී.

ඇප ලබාගැනීමෙන් පසු ප්‍රථම වතාවට ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ජසීම් හෙළිකළේ තමාට එරෙහි චෝදනා, “සේව් ද පර්ල්ස්” නමැති පුණ්‍යායතනයට සම්බන්ධ කිරීමට උත්සාහ කළ බවයි.

2020 අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ නීතීඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන හෙජාස් හිස්බුල්ලා සමඟ සම්බන්ධයක් ඇති බවට ව්‍යාජ ලෙස පාපොච්චාරණය කරන ලෙස තමාට චූදිතයින් බලකිරීමට මෙම චෝදනා හරහා උත්සාහ කළ බව ද ඔහු එම අවස්ථාවේදී හෙළිකළේය.

42.31%
17.27%
32.76%