December 12, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ පුද්ගලයන්ට හෙට (13) අධිකරණය හමුවේ අනිවාර්යයෙන් පෙනීසිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය අද (12) දින නිකුත් කිරීමට නියමිතව තිබිණි.

එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි අද උදෑසන 09ට තමාට දැනුම්දුන් බවය.

එම කරුණු තහවුරු කිරීම සඳහා විමල් වීරවංශ මහතාගේ ඇපකරුවන් හෝ අධිකරණය හමුවේ පෙනීනොසිටීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා, එකී නොතීසි නිකුත් කර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් හෙට දිනයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

විමල් වීරවංශ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ 2010 – 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගැනීමට නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළ සන්නකයේ තබාගැනීමේ වරද යටතේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා ඇත.

42.31%
17.27%
32.76%