December 12, 2023

සතියකට පිරිමි කුකුළු පැටවුන් 5,000කට අධික සංඛ්‍යාවක් ඌරු ආහාර සඳහා යොදාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපළවල නිපදවන පිරිමි පැටවුන් කිසිදු කටයුත්තකට යොදානොගෙන ඌරන්ට කෑමට යොදවන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් දැනට රැකියා විරහිතව සිටින පුද්ගලයන්ට මෙම සතුන් නොමිලේ ලබාදී ඔවුන්ගේ දෛනික ආදායම ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, මෙම පැටවුන් මස් පිණිස කුකුළු ගොවිතැනට කැමැත්තක් දක්වන්නන් අතර බෙදාහැරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ අතර බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික හදබිම අධිකාරිය ද නොමිලේ ගැහැණු පැටවුන් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

බිත්තර කර්මාන්තයේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් අතර කිකිළියන් 20,000ක් පමණ බෙදා දී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

42.31%
17.27%
32.76%