December 12, 2023

ලෝක ඒඩ්ස් නිමිත්තෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදී පසුගියදා පැවැති නොමිලයේ රුධිරය පරික්ෂා කිරීමේ වැඩසටහනට එක්වෙමින් රුධිරය ලබා දුන් පිරිස අතරින් ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයකු සහ සිෆිලිස් සමාජ රෝගය වැළඳුණු පුද්ගලයකු හඳුනාගත් බව මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය එම්.අයි.එම්.ලරීෆ් පවසයි.

මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය සමග මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් රුධිර පරික්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එහිදී පුද්ගලයන් 386 දෙනකු රුධිර සාම්පල ලබාදී ඇත.

එම පරීක්ෂාවේදී ඒඩ්ස් සහ සමාජ රෝග වැළඳුණු දෙදෙනාට ප්‍රතිකාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ බවත්, ඒඩ්ස් වෛරසය ශරීරගත වූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයකු සමාජයේ සැරිසැරීම ඉතා අවදානම් බවත්, වෛද්‍යවරයා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 1991 සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඒඩ්ස් රෝගීන් 303 දෙනකු හඳුනාගෙන තිබෙන බවත්, ඒ අතුරින් 208 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 81 දෙනකු ද, වයස අවුරුදු පහළොවට අඩු පිරිමි ළමුන් 10 දෙනකු සහ ගැහැණු ළමුන් 04 දෙනකු සිටින බව ඔහු පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 2023 වසරේ මේ දක්වා ඒඩ්ස් රෝගීන් 31 දෙනකු හඳුනාගෙන ඇති බවත්, අනෙක් වසර හා සැසඳීමේදී එය ඉහළ ප්‍රතිශතයක් බවත්, වෛද්‍යවරයා වදිසුරටත් සඳහන් කර ඇත. (ලංකාදීප)

42.31%
17.27%
32.76%