December 10, 2023

යුක්රේන – රුසියා යුද්ධය තීව්‍ර වන බැවින් යුක්රේන ආරක්ෂක බලකායේ අන්තර්ජාතික හමුදාවට සම්බන්ධ වී සිටින අයට හැකි ඉක්මණින් තම නම් තානාපති කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

“යුක්රේන යුද පෙරමුණේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු මියගොස් ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා වී තිබේ. ඉන් එක් අයෙක් රනිෂ් හේවගේය. ශ්‍රී ලාංකිකයන් තිදෙනාම සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන්ගේ නිල තහවුරු කිරීමක් තානාපති කාර්යාලය අපේක්ෂා කරයි. ඔවුන්ගේ දේහයන් යුක්‍රේන හමුදාව විසින් සොයාගන්නා තුරු එවැනි පුද්ගලයන් අතුරුදන්වූවන් ලෙස සැළකීම යුක්‍රේන ආරක්ෂක බලධාරීන්ගේ සිරිත වේ” යනුවෙන් තානාපති කාර්යාලය පවසයි.

අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යුක්රේනයේ කටයුතු සඳහා ද බලය පැවරී ඇත.

තානාපතිනි හසන්ති දිසානායක පවසන්නේ, යුක්රේනයේ සොල්දාදුවන් ලෙස ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය සතුව නොමැති බැවින් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබාගැනීම දුෂ්කර බවයි.

“රනිෂ්ක පමණක් තානාපති කාර්යාලයේ හමුදා වෘත්තිකයකු ලෙස ලියාපදිංචි කර සිටිනවා. ඒ නිසා යුක්රේන බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමට අපට හැකිවුණා.” තානාපතිනිය පැවසුවාය.

ශ්‍රී ලංකා හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයකු වන 43 හැවිරිදි ඇන්ඩෲ රනිෂ්ක හේවගේ ප්‍රථම වරට කාර්කිව්හි සේවයට යොදවා ඇත්තේ 2022 ජූලි මාසයේදීය.

යුක්රේනයේ ආරක්ෂාව සඳහා වූ අන්තර්ජාතික හමුදාවේ විශේෂ බලකායේ පළමු අණදෙන නිලධාරියා වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවල පළපුරුදු රනිෂ්ක යුක්රේන යුද පිටියේ ජනප්‍රිය වූයේ ‘කැප්ටන් ඩෙන්ටිස්ට්’ නමිනි.

දෙසැම්බර් 04 වැනි දින රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් ඔහු සහ ඔහු සමඟ සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුක්රේන සොල්දාදුවන් දෙදෙනකු මියගොස් තිබේ.

දැනට ප්‍රතිකාර ලබන තවත් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයකු කපිතාන් රනිෂ්කගේ මරණය තහවුරු කර ඇත.

“ඔහුගේ මව සහ සහෝදරිය දැනට යුක්රේනයේ සිටිනවා. අපි ඔවුන් සමඟත් සම්බන්ධීකරණය කරනවා.”යැයි තානාපතිවරිය පවසයි.

යුක්රේනයේ අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන් පැවසුවේ බක්මුට්හි යුද පිටියේදී කපිතාන් රනිෂ් මිය ගිය අතර, ඔහු වෙනුවෙන් සංවිධානය ස්මාරකයක් ඉදිකරමින් සිටින බවයි.

“අපි සොල්දාදුවන් අතලොස්සක් ගැන තොරතුරු රැස්කර තිබෙනවා. නමුත් (ශ්‍රී ලාංකීය) හිටපු සෙබළුන් පෞද්ගලිකව සහ සෘජුවම බඳවාගනිමින් සටන් බිමට එක්වෙමින් සිටිනවා. ඔවුන්ගේ නම් ලැයිස්තුවක්වත් අපි ළඟ නැහැ,” ඇය පැවසුවාය.

අන්තර්ජාතික වාර්තාවලට අනුව, යුද පිටියේ පළපුරුද්ද ඇති නීත්‍යනුකූලව විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ට මසකට රුපියල් මිලියනයකට වැඩි ආකර්ෂණීය වේතනයක් හිමි වේ.

 

42.31%
17.27%
32.76%