December 10, 2023

රටේ ආර්ථික තත්ත්වය යම් පමණකට ස්ථාවර වී ඇතැයි පවසමින් තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් මෙන්ම රජයෙන් පසුගිය දිනවල නැවතත් ඉල්ලීම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

එසේම මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් ද පසුගිය දිනවල විමසීම් කර ඇතැයි වාර්තා වේ.

මෙසේ ඉල්ලීම් කරන වැඩි පිරිසක් නවක මන්ත්‍රීවරු වෙති.

රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් වාහන බලපත්‍ර නිකුත් කිරීම රජය තාවකාලිකව නතර කිරීම නිසා
වර්තමාන පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් කිසිවකුටත් ඒ වාහන බලපත්‍රය හිමිවූයේ නැත.

තමන්ටම කියා වාහනයක් නොමැත මන්ත්‍රීවරුන් විස්කට ආසන්න පිරිසක් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ළඟ ළඟම මැතිවරණ කිහිපයක්ම පැමිණෙන හෙයින් ඒ මැතිවරණ කටයුතුවල දී යොදා ගැනීමට වාහනයක ඇති අවශ්‍යතාව පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් දිගින් දිගට කරුණු පෙන්වාදී ඇත.

මේ අතර ඉදිරි මැතිවරණවලදී සහ අයවැය ඡන්ද
විමසීමේ දී ආණ්ඩුවට උදව් කළහැකි වන්නේ වාහන බලපත්‍රය ලබාදුනහොත් පමණක් බව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් රජයට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මීට පෙර හිමිවූ තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න විය.

මේ අතර, මන්ත්‍රීවරු පිරිසක් වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මිළඟ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙති.

කෙසේවෙතත් එම ගෘහ කාරක සභාව මාස තුනකින් රැස්වී නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කර ඇත්තේ, තවමත් මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නැති බවයි. (ලංකාදීප)

42.31%
17.27%
32.76%