December 8, 2023

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 55ක සේවයේ නිරත වන්නේ නිලධාරීන් 168ක් පමණක් යැයිද, එම පිරිස තානාපති සේවා සැපැයීමට ප්‍රමාණවත් නොවන්නේ යැයිද විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ඊයේ (7) අනාවරණය කළේය.

එහෙත් එම අතළොස්සක් වූ නිලධාරීන් දිවා රෑ නොබලා උපරිම කැපවීමෙන් සේවයට කැපවී සිටින්නේ යැයිද, ඒ ගැන තමා ආඩම්බර වන්නේ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය..

මෙම වසරේ ජුනි මාසයේ සිට තානාපතිවරු පත්කිරීම සඳහා අනුමැතිය ලැබී ඇති බවත්, පත්වීම් ලැබූවන් අතරින් සියයට 65ක්ම SLFS විභාගය හොඳින්ම සමත් නිලධාරීන් යැයිද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ පෝලිම් අවසන් කර ඇති බවත්, ඩිජිටල් ක්‍රමයට බොහෝ සේවා ලබාදෙන බවත්, විදෙස්ගතවීමේදී අවශ්‍ය වන විභාග සහතිකපත් අනුමත කිරීමත් ඔන්ලයින් ක්‍රමයට සිදුවන බවත්, අමැතිවරයා සඳහන් කළේය.

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අයැදුම් කිරීමේදී මාස තුන-හතර ගතවන බැවින්, ඉදිරියේදී එම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එවිට සති දෙකක් තුනක් අතර කාලයකදී එම ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන බවත්, හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාව සෑම විටම නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම ජන කොටසකට නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවත්, ඔහු අවධාරණය කළේය.

ස්වෛරීභාවය පාවාදී රට මෙහෙය වන්නේ නැතැයිද, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවන අයුරින් පුරවැසියාට ජීවත්වීමේ ඉඩසැලසීම රජයේ වගකීමක් බැවින්, රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට සෑම අවස්ථාවේදීම කටයුතු කරන්නේ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.(මව්බිම)

42.31%
17.27%
32.76%