December 7, 2023

වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් කෝටි 500කට අධික වංචාවක් සිදුකර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හන්තානේ අක්කර විසිදෙකක්, පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම හෝම් ලෑන්ඩ් සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී ඇති බව මන්ත්‍රීවරයා පැවැසීය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඔහු මෙසේද සඳහන් කර තිබේ.

”මහවැලි අමාත්‍යංශය යටතේ භාවිත නොකරන ඉඩම් හෙක්ටයාර් විසි දහසකට වඩා තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික වතු සමාගම්වල හෙක්ටයාර් විසිදහසක් පමණ තිබෙනවා. රජයේත් යම් ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉඩම් හරියට භාවිත කරනවාද? පුද්ගලයන්ට ලැබෙනවාද? කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා.

අපි සත්ව ආහාර විශාල වශයෙන් ආනයනය කරනවා. මේ ඉඩම්වල බඩඉරිඟු වගා කරන්නට බැරි ඇයි? මහවැලි අමාත්‍යංශය කරන්නේ එක එක පුද්ගලයන්ට අතයට ගනුදෙනුවලට නොමිලයේ ඉඩම් ලබාදීමයි. වගා කරන්නෙත් නෑ. සමාගම් නමට නිකරුණේ ඉඩම් තියෙනවා.

අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ක්‍රියාකළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඉඩම් බෙදාදීමේදී 2020 සිට පසුගිය කාලයේදී රුපියල් කෝටි 500කට වඩා විශාල වංචාවක් කර තිබෙනවා.

2020 වසරේ හන්තානයේ ඉඩම් අක්කර 22ක් ලබාදී තිබෙනවා. පර්චස් එක රුපියල් දෙකයි සත 38කට ලබා දී තිබෙනවා. එම අවස්ථාවේම ඔහු හෝම් ලෑන්ඩ් කියන සමාගමට එම ඉඩම විකුණා තිබෙනවා. ඒ පර්චස් එකක් රුපියල් ලක්ෂ දහය බැගින්.

මේ අක්කර 22න් විතරක් මිලියන 2000ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් වංචාවක් සිදුකර තිබෙනවා.

හෝම් ලෑන්ඩ් කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී තිබෙනවා. මේ සභාපතිතුමා අද ඉන්නේ එම එපාර්ට්මන්ට් එකේ. ඊට අමතරව හන්තානේ තවත් අක්කර දහයක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙසම විකල්ප ඉඩමක් ලෙස ලබාදී තිබෙනවා. මේ අක්කර දහයේ පර්චස් එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කටයි. මේ ඉඩමත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබෙනවා.

මේ ඊයේ පෙරේදා හන්තානේ තවත් අක්කර තුනක් 1.38ට ලිව්වා.

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අල්ලපු ඉඩමේ දැනුත් වංචාවක් වෙනවා. එහි අක්කර විසිපහක පර්චස් එකක් රුපියල් 3.50 බැඟින් ලියලා රජයේ ප්‍රබලයන් කීපදෙනකුටත් එම ඉඩම් ලැබී තිබෙනවා.

මේ සියලු වංචා සහ ඔප්පු ජනාධිපතිට භාර දී තිබෙනවා. තොරතුරු දුන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා ඉවත්කළා. ඒ ගැන ජනාධිපතිට ස්තූතිවන්ත වෙනවා. ඔහු ඉවත් කළාට ගනුදෙනු නැවතී නැහැ. ඔප්පු ටික ලියලා ඉවරයි.

අපේ අධිකරණ ඇමැතිවරයා ඊයේ පෙරේදා නුවරඑළිය පැත්තේ උසාවියක් විවෘත කරන්න ගිහින් තිබුණා. එතුමා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සිටින විට මහත්තයා නෝනා සහ දරුවෙක් ඇවිත් හෙලිකොප්ටරයකින් බැස්සලු. දවල්ට කාලා කොළඹ ගියාලු. එහෙම හෙලිකොප්ටරයෙන් ඇවිත් තියෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා.

අධිකරණ ඇමැති, විදේශ ඇමැති තමන්ගේ රාජකාරිය කරන්න යනකොට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති චොපර් එකෙන් ඇවිත් ඉඩම් බෙදලා යනවා.”

42.31%
17.27%
32.76%