December 7, 2023

විශ්වවිද්‍යාල තුළ කනිෂ්ඨ සිසුන්ට ජ්‍යෙෂ්ඨයන්ගෙන් සිදුවන හිරිහැර කිරීම් බොහෝමයක් පිටතට වාර්තා නොවන නමුත්, එම උවදුර තුරන් කිරීමට රජය ගන්නා උත්සාහයට කිසිදු ලෙසකින් නවතා නොමැති බව උසස් අධ්‍යාපන ඇමැති සුරේන් රාඝවන් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තවත් අමානුෂික නවක වධ සිද්ධියක් වාර්තාවීම පදනම් කරගෙනය.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා කියාසිටියේ සෞඛ්‍ය අවදානම නොතකා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනෙකුගේ රෝම එකම රේසරයකින් කපා ඇති බවයි.

ඔහු එය මිනීමැරීමට සමාන අපරාධ ක්‍රියාවකට පවා සමාන කළේ, එවැනි රේසරයක් බහුලව භාවිත කිරීමෙන් ඇති වන ඇතැම් ආසාදන මාරාන්තික විය හැකි බැවිනි.

නවක වධය තහනම් කිරීමට අනුප්‍රාප්තික ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග,විවිධ නීතිරීති සහ රෙගුලාසි ගෙන ආවද, බොහෝ අවස්ථාවලදී නවකයන්, ඔවුන්ගේ අධ්‍යයන ජීවිත කාලය තුළ ජ්‍යෙෂ්ඨයන්ගෙන් තර්ජනවලට බියෙන් කිසිදු පැමිණිල්ලක් නොකර දුක්විඳින බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔහුගේ නවතම හෙළිදරව්ව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඇමැතිවරයා පවසන්නේ, නවක වධ උවදුර මැඩපැවැත්වීම සඳහා පවතින නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජය නව ප්‍රවේශයන් ආරම්භ කර ඇති බවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල 17කම උපකුලපතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කඩිනමින් කරුණු ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

“විශ්වවිද්‍යාල ස්වාධීන ආයතන. ඔවුන්ගේ සෙනෙට් සභාවලට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව තීරණය කළ හැකියි ”ඔහු පැවසීය.

මෙවැනි අමානුෂික ක්‍රියා පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ සීමා මායිම් වන බවත්, එබැවින් එය දේශීය මෙන්ම අන්තර්ජාතික නීතිවලට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඇමැතිවරයා පැවසීය.

මෙවැනි කරුණු පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් උසස් අධ්‍යාපන බලධාරීන් විසින් පැමිණිලි භාරගැනීම සඳහා ක්ෂණික දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නවක වධය පිළිබඳ ගැටලු සහගත සිදුවීම්වලින් පිරී ඇති අතර, ඇතැම් විට මරණ පවා සිදු වී තිබේ.

නවකයන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීම පවා ජ්‍යෙෂ්ඨයන් විසින් නවක වධය වේශයෙන් තහනම් කර ඇත.

මේ නිසා නවකයයෝ ඔවුන් කැමති ඇඳුම් ඇඳීමේ සීමාවන්ට ද මුහුණ දී සිටිති.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි දේශපාලනික අභිප්‍රේරිත ශිෂ්‍ය සංවිධාන තම මතවාදයෙන් සිසුන්ගේ මොළ සේදීමේ මෙවලමක් ලෙස පවා නවක වධය භාවිත කරන බවට චෝදනාවක් තිබේ.

 

42.31%
17.27%
32.76%