December 6, 2023

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පසුගිය දිනවල උතුර සහ නැගෙනහිර පළාත්වලදී සිදුකෙරුණු අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාද අවස්ථාවේදී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

ඇමැතිවරයා එහිදී පෙන්වාදුන්නේ සාමාන්‍ය වැසියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කිසිදු අවස්ථාවක කටයුතු කර නැති බවයි.

මහවිරු සමරුමවලට මුවාවී නීතිවිරෝධී එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන කණ්ඩායම්වලට එරෙහිව පමණක් පොලිසිය නිත්‍යානුකුලව කටයුතු කර ඇති බව ඇමැතිවරයා අවධාරණය කළේය.

පහතින් දැක්වෙන්නේ ඇමැතිවරයා සිදුකලේම ප්‍රකාශයයි.

“ත්‍රස්ත විමර්ෂණ පනත මේ රටේ බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන පනතක් යන අදහස මම ප්‍රතික්ෂේප කරනවා. මේ සිදුවීම් පිළිබඳ අදහස් දක්වනවා නම්, දිගටම ප්‍රකාශ වූයේ නවදෙනෙක් අත්අඩංගුවට ගත් බවක්. නමුත් ඇත්ත වශයෙන්ම එකොළොස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහා විරු සමරුව සිදුනොකරන ලෙස උසාවි තුනකින් නියෝග ලබා දී තිබෙනවා. එමෙන්ම අභියාචනාධිකරණයට කෙනකු සිදුකළ පැමිණිල්ලකට අනුව, මෙවැනි සමරුවක් සිදු කළහොත් නිතිය ක්‍රියාත්මක කරන බවට නීතිපතිතුමා විසින් ප්‍රකාශ කර තිබුණා.

ඕනෑම කෙනෙකුට තමන්ගේ පවුලේ මියගිය කෙනෙකු සැමරීමේ අයිතියක් තිබෙනවා. අපිත් එවැනි දේවල් වලට සහභාගි වෙනවා. නමුත් අපි කිසිදු අවස්ථාවක වෙන කිසිවෙකුගේ උපන්දිනයක්‌ සැමරීමට තවත් කෙනෙකුගේ ස්මාරකයකට යන්නේ නැහැ.එවැනි තැනකට පක්ෂයක කොඩියක් රැගෙන යන්නේ නැහැ. මෙතැනදී පාවිච්චි කළ කොඩිය යම් යම් පක්ෂ පාවිච්චි කළ කොඩියක් බව ප්‍රකාශ වුණා.නමුත් සාමාන්‍ය මනුෂ්‍යයෙකු තම මියගිය පවුලේ සාමාජිකයින් සිහිකිරීමට ස්මාරකයට කොඩිය රැගෙන යන බවක් මා දැක නැහැ. ප්‍රභාකරන්ගේ උපන් දිනයට, කොඩිය රැගෙන විශාල පිරිසක් ගමන් කරන්නේ තම තම පවුල්වල අය සැමරීමට නොවන බව පැහැදිලියි.

නැගෙනහිර නොවන සමහර තැන්වල ඇතැම් පිරිස් සැරසී සිටින ඇඳුම් දෙස බලන්න. මෙය ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බව හෝ එල්ටීටීඊ අදහස් වලට සම්බන්ධ නැති බව අප කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි. මෙම යෝජනාව පිළිබඳ සියලුදෙනා දැක්වූ අදහස් මා ශ්‍රවණය කළා. එහිදී මතු වූ අදහස් පිළිබඳ මා පිළිතුරු ලබාදීමේදී සහ යම් ඡායාරූප පෙන්වීමේදී ඇතැම් මන්ත්‍රීවරුන් කලබලයට පත්ව ගැටළු මතුකිරීමට උත්සාහ කරනවා. අපි ඇත්ත තොරතුරු ප්‍රකාශ කරන විට සමහරුන්ට එය ඉවසා සිටීමට අපහසුයි. මෙවැනි දේවල් සිදුකිරීමට ඉඩ ලබා නොදීමට ඔබතුමන්ලාද කටයුතු කළ යුතුයි. කෙනෙකු සැමරීම යනු එක් දෙයක්, කොඩි රැගෙන යෑම, ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් කේක්, කමිස රැගෙන යාම, මේ සියල්ල නතර කළ යුතුයි. එවැනි අවස්ථාවක පොලිසියද නීත්‍යානුකූලව කටයුතු කළයුතු වෙනවා.

මා ප්‍රකාශ කරන ඇතැම් කරුණු දරාගැනීමට නොහැකි වන විට ඒ සඳහා බාධා කරනවා. පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය ජනතාව පිළිකුල් කරන බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කළා. නමුත් එලෙස ප්‍රකාශ කරමින්ම මෙතුමන්ලා පොලිස් ආරක්ෂාව තබාගෙන සිටින බව ප්‍රකාශ කිරීමට සිදුවීම කණගාටුයි. හෙට වුවත් නැවත මෙවැනි සිදුවීමක් සිදුවූවොත් පොලිසිය අත්අඩංගුවට ගැනීම් සිදුකරුණු ඇති. එය වැළැක්වීමට හැකියාවක් නැහැ. එමනිසා ප්‍රදේශවල මන්ත්‍රීවරුන් ලෙස පළාතේ ජනතාවට මෙවැනි දේ සිදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස ඔබතුමන්ලාගෙනුත් ඉල්ලීමක් කරනවා. මෙවැනි දේ සිදුවන විට පොලිසියට නිහඬව සිටිය නොහැකියි. අමාත්‍යවරුන් ලෙස අපටද නිහඬව සිටිය නොහැකියි. අදාළ සිද්ධියේදී නීතියට අනුව කටයුතු කිරීමට සිදුවනවා. කිසිදු අවස්ථාවක පොලිසිය විසින් අනුගමනය ක්‍රියාමාර්ග වැරදි ලෙස භාවිත කර නැහැ. උසාවි නියෝග අනුව අත්අඩංගුවට ගත් පිරිස පැය 48ක් ඇතුළත උසාවියට ඉදිරිපත් කළා. රිමාන්ඩ් කරනු ලැබුවේ ද උසාවිය මගින්. අවශ්‍ය නම් රඳවා ගැනීමේ නියෝග මත පොලිසියේ රඳවා ගැනීමට හැකියාව තිබුණත් අප එසේ සිදුකළේ නැහැ.

ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් කේක් ගෙඩියක් නිර්මාණය කිරීම පිළිබඳව අදාළ බේකරියේ හිමිකරු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් අප ලබාගෙන තිබෙනවා. මේ සියලු කරුණු අනුව අත්අඩංගුවට ගත් අය නිදහස් කිරීමේ හැකියාව පවතින්නේ අධිකරණයටයි. නැවතත් මෙවැනි සිදුවීම් ඇති වුවහොත් ඉදිරියේදිත් මෙවැනි ප්‍රශ්න ඇති වනු ඇති බව ප්‍රකාශ කිරීමට මා කැමැතියි.එම නිසා සෑම පාර්ශවයක්ම සුහදව සාකච්ඡාව තුළින් මෙවැනි ගැටලු නිරාකරණය කර ගත යුතුයි.”

42.31%
17.27%
32.76%