December 6, 2023

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ ඊයේ (05) සිට පස්වරු 4.00න් පසු විකිරණ ප්‍රතිකාර ලබාදීම නවතා දැමීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගන්නා රෝගීහු 250ක් පමණ දැඩි අපහසුතාවකට මුහුණ දී සිටිති.

පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදෙන්නේ කළින් සැලසුම් කරන ලද නිශ්චිත කාලසටහනකට අනුවය.

ඒ අනුව රාත්‍රී කාලයේ පවා ප්‍රතිකාර ලබාගන්නා රෝගීනු සිටිති. ඒ සඳහා විකිරණ තාක්ෂණ ශිල්පීහු අතිකාල සේවයේ නිරත වෙමින් එම ප්‍රතිකාර ලබාදෙති.

එහෙත් යම්කිසි හේතුවක් මත ඊයේ දිනයේ සිට විකිරණ තාක්ෂණ ශිල්පීන් තම සේවය පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සීමාකර ඇත.

වාර්තා වන අන්දමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛයකට විරෝධය පෑමක් ලෙස විකිරණ තාක්ෂණ ශිල්පීන් මෙම තීරණය ගෙන තිබේ.

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ, විකිරණ ප්‍රතිකාර ඉතා ඉක්මණින් අත්‍යවශ්‍ය රෝගීන් රැසකගේ ජීවිත මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

එසේම අඛණ්ඩව විකිරණ ප්‍රතිකාර ලබානොදීම හේතුවෙන් පිළිකා රෝගය නිසි පරිදි පාලනය නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම රෝගීන්ගේ ප්‍රතිකාර දිනකට හෝ ප්‍රමාදවීම තුළින් සුව කළ හැකි රෝග තත්ත්වයන් සුව ‍කළ නොහැකි තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බවද වෛද්‍යවරු ‍පවසති.

මීට පෙර විකිරණ තාක්ෂණවේදීන් සිය කටයුතු මන්දගාමී කිරීම හේතුවෙන් ද පිළිකා රෝගීන් විශාල සංඛ්‍යාවකට තවමත් සිය ප්‍රතිකාර ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ බලාසිටීමට සිදුව තිබේ.

දීප ව්‍යාප්තව රෝහල් සේවකයන් වැඩ වර්ජන අවස්ථාවන්හිදී පවා මහරගම අපේක්ෂා රෝහල ඊට සම්බන්ධ නොවන්නේ එමඟින් අසරණ පිළිකා රෝගීන්ට විඳින්නට සිදුවන අයහපත් ප්‍රතිඵල හේතුවෙනි.

මෙම විකිරණ තාක්ෂණවේදීන් දිගින් දිගටම ගෙන යන මෙම අමානුෂික වැඩපිළිවෙල කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පවසන පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍යවරු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, වහාම මේ ගැටළුව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසයි.

42.31%
17.27%
32.76%