December 6, 2023

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ වහාම සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කරනු ලැබුවේය.

තමන්ට එරෙහිව ආරක්ෂක ඇමැතිවරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

පෙත්සම්කරුට එරෙහිව දැනට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය දීර්ඝ කරනවා නම් හෝ නව රැඳුම් නියෝගයක් ලබා ගන්නවා නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරැදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් හා සෑහීමකට පත්විය හැකි කරුණු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂක ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබේ.

එලෙස රැඳවුම් නියෝගයක් ලබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සඳහන් වැරැදිවලට අදාළව ප්‍රමාණවත් හා සෑහීමකට පත් විය හැකි කරුණු ඉදිරිපත් නොවන්නේ නම් පෙත්සම්කරු වහාම සුදුසු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු බවත් අභියාචනාධිකරණය විසින් වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට කළ නියෝගයේ සඳහන් වේ.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රමාණවත් කරුණු පවතින අවස්ථාවක නව රැදවුම් නියෝගයක් හෝ පවතින රැඳවුම් නියෝගය දීර්ඝ කිරීමට අදාළව තීන්දුවක් ගැනීම සඳහා මෙම තීන්දුව ආරක්ෂක ඇමැතිවරයාට බාධාවක් ලෙස නොසැළකිව යුතු බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් නම්කර තිබිණි.

42.31%
17.27%
32.76%