December 5, 2023

බාලවයස්කාර සාමනේර හිමිනමක් වසර තුනක් පුරා බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ ප්‍රදේශ කිහිපයක විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දසනමක් සොයා ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් ගලහ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

13 හැවිරිදි මෙම සාමනේර හිමිනම වයස අවුරුදු 11 සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

තලාතුඔය, රටේමුල්ල, ගලහ, හොරණ, ගාල්ල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් සහ අනෙකුත් භික්ෂූන් වහන්සේලා මෙම හිමිනම අපයෝජනයට ලක්කර ඇතැයි පැවැසේ.

මෙම හිමිනම බොහෝ කාලයක සිට විඳි පීඩාව මවට පැවසීමත් සමගම එම මවගේ පැවිදි වී සිටින අනෙක් පුතා සිටින හොරණ විහාරස්ථානයකට මෙම සාමනේර හිමි බාරදී තිබේ.

මෙම හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා අතින්ද මෙම කුඩා හිමිනම අපයෝජනයට ලක්වී ඇතැයි වාර්තා සඳහන් වේ.

මෙය දැනගත් මව ඉන්පසු එම හිමිනම රැගෙන ගොස් ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට භාර දී තිබේ.

එහිදී මෙම හිමිනමට බඩේ අමාරුවක් සෑදී කරාපිටිය රෝහලට ඇතුළත් කළ පසු වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂණයකදී මෙම හිමියන් මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනයට ලක්වී ඇතැයි සොයා ගෙන ඇත.

ඒ අනුව උන්වහන්සේ සිටි විහාරස්ථාන පිහිටි පොලිස් ස්ථානවලට මේ පිළිබඳව දැනුම්දුන් පසු මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ දැනගත් එම විහාරස්ථානවල හිමිවරුන් පොලීසිය මඟහරිමින් සිටින බව පරීක්ෂණ පවත්වන ගලහ පොලීසිය පවසයි.(අද)

42.31%
17.27%
32.76%