December 5, 2023

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදුවිය.

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැළකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටළන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරුවී තිබේ.

පසුකාලීනව පර්යේෂණයකින් සිදුකරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි.

ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.

මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 05වැනි දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

42.31%
17.27%
32.76%