December 5, 2023

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇතැයි පළ වූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

2022 වසරේ පැවැති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා විදෙස් රටවල නිලධාරීන් 25 දෙනකු හා ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 123 දෙනකු ඇතුළු උසස් හමුදා නිලධාරීන් 148 දෙනකු සහභාගී වූ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

“ලෝකයේ ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයක මෙහෙයවනු ලබන මෙවැනි පාඨමාලාවන්ගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වාර්ෂිකව එම පාඨමාලාව හදාරන දේශීය මෙන්ම විශේෂීය රටවල ශිෂ්‍ය නිලධාරින් වෙත එරට ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් විසින් ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳව දේශන පැවැත්වීම සිදුකෙරේ.

එම ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකාවේ ද මෙම උසස් නිලධාරීන්ගේ දේශන පවත්වනු ලබන අතර, රාජකාරී ස්වභාවය හේතුවෙන් සහ එකම අවස්ථාවක දේශන වාරයන් පැවැත්වීමේ ඇති ප්‍රායෝගික ගැටලු නිසාවෙන් අවස්ථා 5ක් යටතේ එම දේශන පැවැත්වීමට කටයුතු කෙරිණි.

එම අවස්ථාවන්හිදී දේශනවලින් අනතුරුව පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශක නිලධාරීන් සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද ඇතුළුව 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග අදහස් හුවමාරු කර ගනිමින් තම දැනුම පුළුල් කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් ඔවුන් සමග එක්ව සාමුහික තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පිළිගත් හමුදා සම්ප්‍රදායයි.

මේ අනුව එම සම්පූර්ණ වියදම් සිදුකර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බව ප්‍රකාශ කර සිටින අතර, මාධ්‍ය මඟින් වැරදි අර්ථකථනයක් ලබාදීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය කනගාටුව ප්‍රකාශ කර සිටී.”

42.31%
17.27%
32.76%