December 4, 2023

එක්සත් රාජධානියේ එකම යෝධ පැන්ඩාවෝ දෙදෙනා ඔවුන්ගේ 12 වසරක වාසයෙන් පසුව එඩින්බරෝ සත්වෝද්‍යානයෙන් පිටව නැවත චීනයට යෑමට සූදානම් වෙති.

Yang Guang සහ Tian Tian නම් මෙම පැන්ඩාවුන් දෙදෙනා අවසානයේ ගෙදර යවන බව සත්වෝද්‍යානය නිවේදනය කර තිබේ.

මුලින්ම මෙම පැන්ඩාවුන් දෙදෙනා එක්සත් රාජධානියට ලබාදී තිබුණේ වසර 10ක කාලයක් සඳහාය.

එහෙත් නරඹන්නන්ගේ ආකර්ෂණයක් බවට පත්වීමෙන් අනතුරුව ඔවුන් එරට වාසය කරන කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කෙරිණි.

දැන් ඔවුන් සිචුවාන් පළාතේ චෙන්ග්ඩු හි පිහිටි චීන වනජීවී සංරක්ෂණ සංගමයේ කඳවුර වෙත යැවීම සඳහා සංකීර්ණ විධිවිධාන සකස් කෙරෙමින් පවතී.

එක්සත් රාජධානියේ සහ චීනයේ රජයන් සමඟ එකඟ වූ පරිදි සත්ව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලවීම සඳහා පැන්ඩාවුන් යුගලය සති කිහිපයක් නිරෝධායනය වී ඇති බව පැවැසේ.

පැන්ඩාවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව සහතික කිරීමට සහ චීනයට කිසිදු රෝගයක් ගෙන නොයන බවට සහතික කිරීම සඳහා රුධිරය සහ මළ සාම්පල ඇතුළුව නිරන්තර පශු වෛද්‍ය පරීක්‍ෂණ පවත්වනු ලබයි.

ඔවුන් චීනයට පියාසර කිරීම සඳහා සත්වෝද්‍යානයේ කම්මල්කරුවකු වන රබ් ක්ලාක් විසින් ඉදිකරන ලද ඔවුන්ගේ නව කූඩ වලට හුරුවී ඇත.