December 4, 2023

ෂායි හෝප්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඇන්ටිගුවාහිදී පැවැති පළමු එක්දින තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු 04ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත්විය.

එංගලන්තය පළමුව පන්දුවට පහරදී පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළ අතර, හැරී බෘෘක් ලකුණු 71ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 49 යි පන්දු 05කදී සපුරාගත්තේ කොදෙව් එක්දින තරග ඉතිහාසයේ හඹාගොස් ලබාගත් දෙවැනි ඉහළම ජයග්‍රහණය සටහන් කරමිනි.

මීට පෙර අයර්ලන්තයට එ⁣රෙහිව කොදෙව්වන් 2019 වසරේදී කඩුලු 05ට ලකුණු 331ක් හඹාගොස් එක්දින ජයක් වාර්තා කර තිබිණි.

වැනි පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 83කදී නොදැවී ලකුණු 109ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට 06 පහර 07ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

මෙහිදි 114වැනි එක්දින ඉනිම ක්‍රීඩාකළ හෝප් එක්දින ලකුණු 5000ද පසුකර ගිය අතර, ඒ අනුව එක්දින පිටියේ වේගවත්ම ලකුණු 5000 ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි තැනලබා ගත්තේ, විවියන් රිචඩ්ස් සහ විරාට් කෝලි හා සම තැන ගනිමිනි.

එක්දින පිටියේ වේගවත්ම ලකුණු 5000 පාකිස්තානයේ බාබර් අසාම් ඉනිම් 97කදී ලබාගෙන ඇති අතර, දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩක හෂිම් අම්ලා ඉනිම් 101කදී එම දක්ෂතාව දක්වා තිබේ.

එංගලන්තයට එරෙහි පළමු තරගය ජයග්‍රහණය සදහා කොදෙව් ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදී අවසන් ඕවර 10ට ලකුණු 106ක් ලබාගැනීමට අවශ්‍යව තිබිණි.

එහිදී ෂායි හෝප්ට අනගි සහායක් ලබාදුන් 06වැනි කඩුල්ලට පිටියට පිවිසි රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 28කදී ලකුණු 48ක් රැස්කළේය.

පසුව තරගයේ ජයග්‍රහණය 48වැනි පන්දුවාරයේදී ෂායි හෝප් ලබාගත්තේ සෑම් කරන්ට හයේ පහර 03ක් එල්ලකරමිනි.

ඒ අනුව, ඉන්දියාවේ පැවැති ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තය හමුවේ දැක්වූ මෙම දක්ෂතාව විචාරකයන්ගේ ඇගැයීමට ලක්වූ අතර, ෂායි හෝප්ගේ තරග අවසන් කිරීමේ විලාශය ඉන්දීය හිටපු සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි සිහිගන්වන්නක් බව සදහන් කෙරිණි.