December 1, 2023

සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක වන ලීනා ද සිල්වා අද දින කැනඩාවේ දී සිය ජීවන ගමන අවසන් කර ඇත.

මියයන විට ඇය 87වැනි වියේ පසුවූවාය.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඇය, පාසලේ ඉංග්‍රීසි පන්තියේ දී නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදීකාවට අවතීර්ණ විය.

පාසල් කාලයේ පටන් නර්තනයට ඇලුම් කල ඇය පණීභාරතයන් හා වසන්ත කුමාර යන අයගෙන් නර්තනය ප්‍රගුණ කළාය.

ඉන් අනතුරුව ශේෂා පලිහක්කාරයන් ගෙන් වැඩිදුර නැටුම් ඉගෙනගත්, අතර ඔහුගේ යොමුකිරීමෙන් 1955 තිරගත වූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ‘ලංකා මාතා‘ ගීතමය ජවනිකාවට නර්තනයක් ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට පිවිසීමට ලීනා ද සිල්වා නම් ළාබාල තරුණියට හැකිවිය.

ඉන් පසුව ආරියදාස පිරීස් විසින් සිරිල් පී. අබේරත්නයන්ට ඇයගේ ඡායාරූපයක් ලබාදීම හරහා 1956 තිරගත වූ “සුරතලී” චිත්‍රපටයේ සුරතලිය ලෙස ප්‍රධාන චරිතය රඟපාමින් අතිශය ජනප්‍රසාදයට පත්විය.

ඊට අමතරව සොහොයුරෝ, සුනීතා, සුන්දර බිරිඳ, සුලලිත සෝබනී, නලගන, සුජාගේ රහස, අමතක වුණාද, රන්රස ඇය රගපෑ ජනප්‍රිය චිත්‍රපට විය. ජනප්‍රියත්වය ඉහළින් ම රැදී කාලයේ දී රවීන්ද්‍ර රූපසේනයන් සමග විවාහ වූ ලීනා ද සිල්වා දරුවන් දෙදෙනකුගේ මවක විය.

1978 දී සිය ස්වාමියාගේ අභාවයත් සමග නැවත වරක් ඇය සිනමාවට අවතීර්ණ වූයේ ‘ගඟ අද්දර’ (1980) චිත්‍රපටයේ වසන්ති චතුරානිගේ මව ලෙස රඟපාමිනි. එතැන් සිට ‘වාලම්පූරි’, ‘ආරාධනා ‘, ‘සාරංගා’ (1981), ‘යස ඉසුරු’, ‘කිරි සුවඳ’, ‘කැලෑ මල්’, ‘පාදෛ මාරිය පරුවන්ගල්’, ‘මලට නොඑන බඹරු’, ‘පාරමිතා’, ‘යහළු යෙහෙළි‘ (1982), ‘කලියුගය’, ‘සමනල සිහින’ (1983), ‘හිතවතිය’ (1984), ‘ආදර කතාව‘, ‘වාසිටි කෙල්ල’, ‘කිරි මදුවැල්’, (1985), ‘දුශ්‍යන්ති’, ‘කොටි වලිගය’, ‘සිංහ පැටවු’, ‘දිනුම’ (1986), ‘චණ්ඩියන්ගෙත් චණ්ඩියා’ (1986), ‘බදුලු කෝච්චිය’, ‘සෙබළියෝ’ (1989), ‘තණ්හා ආශා’, ‘වීර උදාර’ (1990), රජ කෙල්ලෝ’, (1991), ‘රජ දරුවෝ’ (1992) ‘ශර්මිලාවින් ඉදය රාගම් (1993), ‘සුජාතා’ (1994), ‘අවරගිර’ ‘සීමා පවුරු’ (1996), ‘අනුරාගයේ අනන්තය’ (2000), ‘පොරොන්දුව‘ (2001) යන චිත්‍රපටවල රඟපෑවාය.

සිනමාව පමණක් නොව, වේදිකාව හා ටෙලිනළුවේ ද රංගනයෙන් දායක වූ ලීනා ද සිල්වා මෙරට සිංහල සිනමාවේ අපූර්ව සොයාගැනීමකි.(දිනමිණ)