December 1, 2023

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරුපැදියක සිට පිළිකා ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි බව කියන ජංගම වෙළෙන්දකු සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

යතුරු පැදියේ ගීත පෙට්ටියක අසුරා ඖෂධ අලෙවි කළ එම පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ප්‍රශ්න කර ඇති අතර, පිළිකා රෝගීන්ට දෙන මෙම ඖෂධ වර්ග, අලෙවි නියෝජිතයකු විසින් තමාට ලබාදෙන බව ඔහු පවසා ඇත.

තමන් හමුවට යොමුකරන රෝගීන්ට එම ඖෂධ අලෙවි කරන බව ඔහු එහිදී පවසා තිබේ.

එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයකු බවත්, ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පිළිකා එන්නත් සහ ඖෂධ වර්ග 16ක් සොයාගත් බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතිඥ චිත්‍රසේකර බණ්ඩාර පවසයි.

මෙම පුද්ගලයාගෙන් ඖෂධ ලබා ගැනීමට රෝගීන් යොමුකරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සැකයක් මතුවී ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.

සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ ඖෂධ මෙරට ලියාපදිංචි කර තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා එම ඖෂධ අධිකාරියට යොමු කරන බව ඔහු පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා නියම කරන දිනයකදී අධිකරණය හමුවේ පෙනීසිටීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදාහළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%