November 29, 2023

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2022/2023 තක්සේරු වර්ෂය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව 2023 නොවැම්බර් 30 දිනට පෙර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

දැනට පවතින දේශීය ආදායම් නීතියට අනුව 2022/2023 තක්සේරු වර්ෂය සඳහා වන වාර්ෂික ආදායම් වාර්තාව 2022 අප්‍රේල් 01 සිට 2023 මාර්තු 31 දක්වා 2023 නොවැම්බර් 30 දිනට පෙර ඉදිරිපත් කළ යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දිනයට වාර්තාව ඉදිරිපත් නොකර බදු ලිපිගොනු පවත්වාගෙන යන පුද්ගලයන්ට රුපියල් 50,000ක දඩයක් සහ ගෙවිය යුතු බදු මුදලින් සියයට 05%ක දඩ මුදලක් පනවන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සංවිධානය කරන ලද, වාර්ෂික ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීම සහ මාර්ගගත (Online) ක්‍රමයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම් පිලිබඳ වැඩමුළුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (27) පැවැත්වුණු අවස්ථාවේ අදහස් දක්වමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ බව සඳහන් කළහ.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවට රාජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් සහ පාර්ලිමේන්තුවේ නිලධාරීහු ද සහභාගී වූහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් දැනුවත් කිරීම් සඳහා ජේෂ්ඨ කොමසාරිස් සුජීව සේනාධීර, ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර සහ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් එම්.එච්.ඩී. මෙනේරිපිටිය යන නිලධාරිහුද ඊට සහභාගී වූහ.

මෙහිදී, වර්තමානයේ පවතින දේශීය අදායම් බදු නීතිය අනුව අදායම් වාර්තා ලබාදීම සහ එම වාර්තා ලබානොදීම නිසා පැන නැගිය හැකි තත්ත්වයන් පිළිබඳවද දැනුවත් කිරීම් සිදුකෙරිණි.

ඒ අනුව, මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ආදායම් බදු ලිපිගොනු විවෘත කර ඇති අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ බදු වාර්තාව සම්පූර්ණ කර මාර්ගගත (Online) ක්‍රමයට දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රයෝගික පැහැදිලිකිරීම් සිදුකරන ලද අතර, එහිදී ඇතිවෙන ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිලධාරීන්ගෙන් විමසීම් කිරීම්ද සිදුවිය.