November 27, 2023

ශ්‍රී ලාංකික කෞතුක වස්තු හයක් නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාවට ආපසු ලබාදීමට නියමිතව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය පැවසුවේ ලන්දේසීන් විසින් සොරකම් කරන ලද ශ්‍රී ලාංකික කෞතුක වස්තු 06 ක අයිතිය පැවරීමට අදාළ ලේඛනවලට අගෝස්තු මාසයේ ඉහළ පෙළේ රාජ්‍ය සංචාරයක් අතරතුර නෙදර්ලන්ත රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු විසින් විධිමත් ලෙස අත්සන් තැබූ බවයි.

වසර 200කට වැඩි කාලයක් විදේශයක තිබු ශ්‍රී ලාංකික කෞතුක වස්තු 06ක් දෙසැම්බර් 05 සහ 06 යන දෙදින තුළ කොළඹ ජාතික කෞතුකාගාරයේ පැවැත්වෙන උත්සවයකදී භෞතිකව ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

එම උත්සවය මහජනතාවට විවෘත වන අතර ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ දිගුකාලීන හවුල් ඉතිහාසය පිළිබඳව බාල මහලු අය දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ඊට ඇතුළත් වේ.

ප්‍රවීණයන්ගේ මහජන දේශන, මඟ පෙන්වන චාරිකා සහ සාකච්ඡා සභාවක් පැවැත්වීමට ද කෞතුකාගාරය විසින් සැලසුම් කරයි.

තානාපති කාර්යාලය පැවසුවේ අන්තර්ජාතික සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ නෙදර්ලන්ත තානාපති ඩිවි වැන් ද වීර්ඩ් නෙදර්ලන්තය වෙනුවෙන් භාරදීම අධීක්ෂණය කිරීමේ කටයුතුවලට නායකත්වය දෙන බවයි.

කෞතුක භාණ්ඩ යළි භාරදීමත් සමඟ නෙදර්ලන්තය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් අපේක්ෂා කරයි.

මෙහි කොටසක් ලෙස නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට තානාපති වැන් ද වීර්ඩ් බලාපොරොත්තු වේ.

දෙරටේම රජයන්, කෞතුකාගාර, විශ්වවිද්‍යාල සහ උපදේශක කමිටු ඉදිරියේදී තවත් ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් නැවත ලබාදීම සඳහා දැනටමත් එක්ව කටයුතු කරමින් සිටින බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

42.31%
17.27%
32.76%