November 25, 2023

මීට වසර 11කට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍යවරයා, බිරිඳ හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත් කළ රෝහලේම සාත්තු සේවකයකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් ඉකුත්දා (21) නියම කර තිබේ.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ එවක සෙවනගල රෝහලේ සාත්තු සේවකයකු ලෙස කටයුතු කළ සෙවනගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නමැති අයකුටය.

සෙවනගල ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා වූ වී.චාමින්ද විතානගේ සිටි නිල නිවසේ පිහිටි ජල ටැංකියට ඉකුත් 2012 වසරේ පෙබරවාරි 3 වැනිදා කිසියම් අයකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරීමට තැත් කර ඇති බවට වෛද්‍යවරයා සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ නිමල් රංජිත් නමැති සේවකයකු හා එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී පැවති මූලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 04ක් යටතේ ඇඹිලිපිටිය මහාධිකරණ හමුවේ නඩු පවරන ලදී.

නඩු විභාගයේදී රස පරීක්ෂක කේ.ඒ.පී.බී. පෙරේරා සාක්ෂියට කැඳවා තිබූ අතර, එහිදී ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පැවසුවේ එච්.සී.පී.ඒ. නැමැති වල් නාශකය ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි.

කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂවේදී අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දුගෙන්ද අධිකරණය වැඩිදුරටත් වාර්තාවක් ලබා ගෙන තිබූ අතර, එයින් ද වල් නාශකය පිළිබඳ හා එහි ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර සාත්තු සේවකයාට එරෙහිව නඟා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු සාක්ෂි සලකා බැලූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා චූදිතයාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර, එය වසර 10කින් සමගාමීව ගෙවී යා යුතු බවටද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.

මීට අමතරව අදාළ චෝදනා සඳහා රුපියල් 5000 බැඟින් රුපියල් 20,000ක දඩයක් ද නියම කර තිබේ.

42.31%
17.27%
32.76%