November 24, 2023

ශ්‍රී ලාංකික බිළිඳුන් විදේශිකයන්ට දරුකමට හදා ගැනීම සඳහා විකිණීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (නොවැ 23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට දැනුම් දී ඇත.

මහනුවර ප්‍රදේශයේ සිට මෙම මහා පරිමාණ ළදරු ජාවාරම මෙහෙයවන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අනාවරණ කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේ පුරවැසියකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ වහාම පරීක්ෂණයක් පවත්වා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

42.31%
17.27%
32.76%