November 22, 2023

තමා ක්‍රීඩා ඇමැතිවරයාට මරණ තර්ජන එල්ලකර නොමැති බවත්, ඇමතිවරයා උත්සාහ කරන්නේ ක්‍රිකට්, රගර් සහ පාපන්දු වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතනවලට සිය හිතවතුන් පත්කර ගැනීම බවත්, ක්‍රීඩා ඇමැතිවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රෙස්කර පවසයි.

ඇමැතිවරයා තමාගේ නම සඳහන් කරමින් කළ ප්‍රකාශයට අදාළව ප්‍රතිචාර දක්වමින් ජන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුදත් චන්ද්‍රසේකර මෙසේද සඳහන් කර ඇත.

“විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුව වරදකරුවන්ට දඬුවම් කළ යුතුය. රොෂාන් රණසිංහ ක්‍රිඩා අමාත්‍යවරයා මා හට මෙන්ම සාගල රත්නායක මහතාටත්, ශම්මි සිල්වා මහතාටත් විරුද්ධව, අපගෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙන බව වාර්තා වේ. එහෙත් මා කිසිලෙසකත් තර්ජනය කර නොමැති අතර එය තහවුරු කර පෙන්විය හැකිය.

පසුගිය වසරේ ඩුබායිහි පැවති ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ක්‍රිකට් ආයතනයට හා පාපන්දු, රගර් වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතන සඳහා තමන්ගේ හිතවතුන් දමා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කරන ලදී.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදුකරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවේ. ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසායි. ජනතාව චෝදනා කරන්නේ මුන් 225ම හොරුන් ලෙසට හඳුන්වමින් බව අමතක නොකළ යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා වන ඔබත් ඒ 225න් අයෙකු වන බව තේරුම් ගත යුතු වේ. එසේ නම් ඔබත් හොරෙක්. වංචාකාරයෙක් දූෂිතයෙක්ද ?

මලල ක්‍රීඩා, මෝට් රේස් ඇතුළු අනෙකුත් සමාගම්වලින් උසාවියේ නඩු 285ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතී. මේ සියල්ලටම හේතුව ගැටලු නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරි ලෙස පළිගැනිමේ චේතනාවෙන් ක්‍රියා කිරීමයි.”