November 19, 2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරග⁣යේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දැවී ලකුණු 240ක් රැස්කළේය.

ඒ අනුව එක්දින ලෝක කුසලානය අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50ක් තුළ ලකුණු 241 ක ඉලක්කයක් හිමිවූයේය.

තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන අතර එහි ප්‍රේක්ෂකයන් 132,000කට අසුන්ගත හැකිවේ.

ඒ අනුව, අවසන් මහා තරගය නැරඹීමට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට වාර්තාගත ක්‍රීඩාලෝලී පිරිසක් පැමිණි සිටි අතර ඇතැම් පිරිස් සදහා ඇතුළුවීමට අවස්ථාව හිමිවුයේ නැත.

අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයක් ද පැවැත්විණි.

එමෙන්ම, තරගයට පෙර ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් විසින් තමන් සහභාගි වු අවසන් අන්තර්ජාතික එක්දින තරගයේදී හැඳසිටි ටී ෂර්ට ත්‍යාගයක් ලෙස පිරිනමන ලදි.

අනතුරුව කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ ආරධනයට අනුව ඉන්දීයාව පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස  සුබ්මන් ගිල් සහ නායක රෝහිත් ෂර්මා පිටියට පිවිසියහ.

කෙසේ වෙතත්,ඔවුන්ට  පිටියේ ස්ථාවරවීමට ඉඩ ලබානුදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සුබ්මන් ගිල් ලකුණු 04කට දවාගත්තේ ඉන්දීය කණ්ඩා⁣යමේ ලකුණු පුවරුව 30ක්ව තිබියදීය.

ඉන්දීය ඉනිම ලකුණු 76ක්ව තිබියදී ග්ලෙන් මැක්ස්වෙල් යොමුකළ පන්දුවකට රෝහිත් ෂර්මා ලකුණු 47කට දැවීගියේ ඔහු ලබාදුන් උඩපන්දුව  විශිෂ්ඨ අයුරින් ට්‍රැවිස් හෙඩ් රැකගැනීම හේතුවෙනි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රියාර්ස් අයියර් සුළු වේලාවකින් නැවත ක්‍රීඩාගාරයට හරවා හැරීම⁣ට ඕස්ට්‍රේලියානු  නායක පැට් කමින්ස් සමත්විය.

විරාට් කෝලි 72වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ අතර, ලකුණු 54ක් රැස්කර සිටියදි ඔහු දැවිගියේය.