November 18, 2023

අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර, ජනාධිපතිවරයා විසින් නම් කරන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරණ පත්කිරීම්, හුදෙක් ජ්‍යේෂ්ඨත්වය මත නොව කුසලතා හා අවංකභාවය මත සිදුවිය යුතු බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතිඥ සාමූහිකය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම නීතීඥ සාමූහිකයඉල්ලා සිටින්නේ, අධිකරණ තනතුර අවභාවිත කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ සභාපතිවරයාට එරෙහිව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් 2023 නොවැම්බර් 08 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද චෝදනාවලට කඩිනම් ප්‍රතිචාර දක්වන ලෙසයි.

නීතීඥ සාමූහිකය කියාසිටින්නේ, ඉහළ අධිකරණයක විනිසුරුවරයකු විසින් තනතුර අවභාවිත කිරීම සම්බන්ධ ඕනෑම චෝදනාවක් ඉතා බරපතළ කාරණයක් බවයි.

එසේම, විධිමත් පැමිණිල්ලක් නොමැතිව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයක් විසින් ලබාදුන් නියෝග හෑල්ලු කිරීමද ඒ හා සමානව ඉතා ගැටලු සහගත බවද නීතීඥ සාමූහිකය පෙන්වාදෙයි.

“අධිකරණයේ ස්වාධීනත්වය සහ අඛණ්ඩ පැවැත්මට අවශ්‍ය වන්නේ යම්කිසි චෝදනාවක් සත්‍යද අසත්‍යද යන්න තීරණය කිරීමට ඒ සම්බන්ධයෙන් කඩිනමින්, විනිවිදභාවයෙන් සහ ශක්තිමත් පියවර ගැනීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4(ඇ) වගන්ති මගින් සහතික කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමටත් අධිකරණයේ ස්වාධීනත්වය මූලික බව අපි මතක් කරමු.” යනුවෙන් නීතිඥ සාමූහිකය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉහළ අධිකරණවල අධිකරණ නිලධාරීන්ට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා වූ ක්‍රියාපටිපාටියකට අමතරව විනය පරීක්ෂණ සහ ක්‍රියාමාර්ග සඳහා විනිවිද භාවයෙන් යුතු සහ වගකීම් සහගත ක්‍රියාවලියක් නොමැති බව නීතීඥ සාමූහිකය නිරීක්ෂණය කරයි.

නීතීඥ සාමූහිකය ඉහළ අධිකරණවලින් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගය අවසාන විසඳුමේ මිනුමක් බවට පත්කරමින් මෙම අධිකරණවල ආචාරධර්ම සහ විනය ආමන්ත්‍රණය කරන අභ්‍යන්තර නියාමනයක් ස්ථාපිත කරන ලෙසයි.

ඕනෑම චෝදනාවක් කඩිනමින් නිසි පරිදි ක්‍රියාත්මක කර විමර්ශන ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ සහතික විය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ළබැඳියාවන් අතර ගැටුමක් හෝ රාජකාරි පැහැරහැරීමක් හෝ විෂමාචාරයක් පිළිබඳ ඕනෑම චෝදනාවක් ප්‍රසිද්ධියේ නිදොස් කරන හෝ වරද තහවුරු කරන විශ්වසනීය පරීක්ෂණයකට යටත් විය යුතු බවද නීතීඥ සාමූහිකය වැඩිදුරටත් අවධාරණය කරයි.

වසර කිහිපයකට පෙර යෝජනා කරන ලද පරිදි උත්තරීතර අධිකරණ විනිසුරුවරුන් බැඳීමකට යටත් කෙරෙන විනය සහ ආචාරධර්ම මාලාවක්ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් විධිමත් ලෙස ප්‍රකාශයට පත්කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නීතිඥ සාමූහිකය වෙනුවෙන් උපුල් ජයසූරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, එම්.ඒ. සුමන්තිරන්, ඩිනාල් පිලිප්ස්, එස්.ටී.ජයනාග සහ එම්.එම්. සුහයිර් යන ජනාධිපති නීතීඥවරුන් සහ නීතිඥවරුන් වන මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය දීපිකා උඩගම, උපුල් කුමාරප්පෙරුම යන පිරිසක් එම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

42.31%
17.27%
32.76%