November 18, 2023

මෙරට ලක්ෂ දෙකක් වන ත්‍රිරෝද රථ සඳහා පිරිසිදු සහ දැරිය හැකි ප්‍රවාහන විසඳුමක් ලබාදීමට Lanka E-mobility Solutions (Private) Limited ආයතනය සැලසුම් කර තිබේ.

ඒ ශ්‍රී ලංකාව තුළ ‘e-wheel’ ලෙස නම්කර ඇති විදුලි ත්‍රිරෝද බැටරි හුවමාරු කිරීමේ තාක්ෂණයක් හඳුන්වාදෙමිනි.

මෙම බැටරි මාරුකිරීමේ නව තාක්‍ෂණයෙන් අදහස් වන්නේ, ත්‍රිරෝද රථ හිමිකරුට තවදුරටත් මිල අධික බැටරියක් මිලදී ගැනීමට හෝ ප්‍රතිස්ථාපනය ගැන කරදර වීමට අවශ්‍ය නොවන බවයි.

බැටරි මාරු කිරීමේ ක්‍රියාවලියට ගතවන්නේ මිනිත්තු දෙකක් පමණි.

නව විසඳුම යටතේ, ත්‍රිරෝද රථ හිමියන් බැටරි සඳහා ගෙවීමට අවශ්‍ය නොවන්නේ බැටරි සහ හුවමාරු මධ්‍යස්ථාන යන ද්විත්වයම Lanka E-mobility Solutions (Private) Limited ( LEMS )සතුවීම සහ කළමනාකරණය කිරීම කරන බැවිනි.

e-wheel හිමිකරු ගෙවනු ලබන්නේ ධාවනයේදී ගෙවන පදනම මත භාවිත කරන බලශක්තිය සඳහා පමණි.

මෙම විසඳුම ශ්‍රී ලංකාව තිරසාර ගමනාගමනය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය කාබන් විමෝචනය අඩුකිරීම සහ හානිකර වායු දූෂණයට එරෙහිව සටන් කිරීමේ හදිසි අවශ්‍යතාවෙන් මෙහෙයවනු ලැබේ.

“ශ්‍රී ලංකාවේ මිලියන 1.2 ක ත්‍රිරෝද රථ දැනට දිනකට පෙට්‍රල් ලීටර් මිලියන 5.5ක ප්‍රමාණයක් අවශ්‍ය වන අතර සෑම e-wheel රථයක්ම එම අගය අඩු කිරීමට උපකාරී වනු ඇත. 450,000ක ආයෝජනයකින් බොහෝවිට e-wheel රියදුරුට මසකට රුපියල් 20,000කට ආසන්න මුදලක් ඉතිරි කර ගත හැකියි.”යනුවෙන් LEMS කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ පැවසීය.

“ඉන්ධන ආනයනය, ලිහිසි තෙල් සහ සාමාන්‍ය නඩත්තු අමතර කොටස් සඳහා වැය කරන වටිනා විදේශ විනිමය ඉතුරු කරගැනීමට හැකිවීම අතිවිශිෂ්ට වාසියක් ,” ඔහු තවදුරටත් පැවසීය.

“අපි දැනට තිබෙන පෙට්‍රල් ත්‍රිරෝද රථ අරගෙන, ඒවායේ එන්ජිම ගලවලා අලුත්ම විදුලිබල එන්ජිමක් ආදේශ කරනවා. සම්පූර්ණ පරිවර්තන ක්‍රියාවලියට ගතවන්නේ පැය දෙකක් පමණයි. පරිවර්තනය කළ පසු, එයට අපගේ බැටරි හුවමාරු සේවා භාවිත කිරීම වහාම ආරම්භ කළ හැකිය, ”LEMS සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ශිරේන්ද්‍ර ලෝරන්ස් පැවසීය.

බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථාන පළමුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් ස්ථානගත කරන බවත්, ගාල්ල සහ මහනුවර දක්වා පුළුල් කිරීමට දැනටමත් සැලසුම් කර තිබේ.

පරිවර්තනය කළ පසු තෙල් වෙනස් කිරීම් හෝ සේවාවන් අවශ්‍ය නොවන අතර පෙට්‍රල් ත්‍රිරෝද රථයක් ධාවනය කිරීම සඳහා කිලෝමීටරයකට රුපියල් 20කට වැඩි මුදලක් වැයවුවත් e-wheel ධාවනය කිරීමේදී වැයවන්නේ කිලෝමීටරයකට රුපියල් 15කට වඩා අඩු මුදලකි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෙම පෙරළිකාර e-wheel විප්ලවයේ සුවිශේෂී මූල්‍ය සහ ලීසිං හවුල්කරුවා වේ.

මෙම ප්‍රයත්නය පිළිබඳ අදහස් දක්වමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සලින් මහතා පැවසුවේ, “ e-wheel ලෙස හංවඩු ගසා ඇති මෙම නව්‍ය විද්‍යුත් ත්‍රිරෝද බැටරි හුවමාරු කිරීමේ තාක්‍ෂණය හඳුන්වාදීම සඳහා LEMS වෙත සහාය ලබා දීමෙන් අපි ශ්‍රී ලංකාවට විසඳුමක් වන වඩාත් පිරිසිදු හා තිරසාර ගමනාගමනයකට දායක වනවා. මෙම ව්‍යාපෘතිය කාබන් විමෝචනය අවම කිරීම සහ වායු දූෂණයට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් අපගේ පුළුල් තිරසාර මුලපිරීම්වල තීරණාත්මක අංගයක්.” යනුවෙනි.