November 17, 2023

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වීමේ පියවරක් ලෙස ලාභ විදුලි උත්පාදනයන් සෙවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා ඇති උනන්දුව ප්‍රකාශ කරන ලෙස සැපයුම්කරුවන්ගෙන් බලශක්ති ඇමැතිවරයා ඉල්ලා සිටියි.

මෙරට ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන්නේ ආනයනික තෙල්, ගල් අඟුරු සහ ජල විදුලියයි.

2030 වන විට සිය විදුලියෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන අතර න්‍යෂ්ටික බලය එහි බලශක්ති මිශ්‍රණය සඳහා අඩු කාබන් විකල්පයක් ලෙස පෙනීගොස් තිබේ.

2050 වන විට කාබන් උදාසීන කිරීම රජය අරමුණු කර තිබේ.

“දිගුකාලීන ජනන සැලසුම්වල කොටසක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය ආරක්ෂිතව භාවිත කිරීමට රජය අපේක්ෂා කරයි” යනුවෙන් බලශක්ති ඇමැති කංචන විජේසේකර සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නිලධාරීන් කොළඹදී හමුවීමෙන් අනතුරුවය.

රජය “න්‍යෂ්ටික බලාගාර සහ නවීන තාක්‍ෂණය ස්ථාපිත කිරීම සඳහා ඒ පිළිබඳ ඇති කැමැත්ත සම්බන්ධයෙන් විමසනු ඇත”, යනුවෙන් ඔහු පවසා තිබේ.

රුසියාව, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ඇතැම් යුරෝපීය රටවලින් ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලාගාර පිරිනැමීම් තක්සේරු කරමින් සිටින බව කංචන විජේසේකර උපුටා දක්වමින් ජූලි මාසයේදී මාධ්‍ය සඳහන්කර තිබිණි.

2010දී එවක බලශක්ති ලේකම්වරයා පැවසුවේ ශ්‍රී ලංකාව 2030 වන විට ගිගාවොට් එකක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

රුසියානු සහයෝගීතාවෙන් ඉදිකරන ලද න්‍යෂ්ටික බලාගාරයක් ඇති එකම දකුණු ආසියාතික රට ඉන්දියාව වන අතර, බංග්ලාදේශය සහ පකිස්ථානය එවැනි බලාගාර පිහිටුවීමේ ක්‍රියාවලියේ යෙදී සිටියි.

රුසියානු රජය සතු පරමාණුක සමාගම බංග්ලාදේශයේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකරන අතර චීනය සහ පාකිස්ථානය පන්ජාබ් පළාතේ මෙගාවොට් 1,200 ක බලාගාරයක් ඉදිකිරීම සඳහා ජුනි මාසයේදී ගිවිසුමක් අත්සන් කර තිබේ.

මිලියන 22ක ජනතාවක් වෙසෙන රටක් වන ශ්‍රී ලංකාව, 1948 යටත් විජිත පාලනය අවසන් වීමෙන් පසු දරාගත නොහැකි ණය බරකට මුහුණදී සිටින අතර රට මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට පිළියම් ලෙස මාර්තු මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ඇප ණයක්ද ලබා ගත්තේය.

42.31%
17.27%
32.76%