November 17, 2023

බදු නිදහස් කළ භාණ්ඩ 87කට ලබන මාසයේ සිට සියයට 18ක වැට් බද්ද ගහයි

එකතු කළ අගය මත බද්දෙන්(වැට්) නිදහස් කර ඇති භාණ්ඩ 87ක් සඳහා 2023 දෙසැම්බර් මාසයේ සිට බදු අයකරන අතර, ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ යෝජිත වැටුප් වැඩිකිරීමට අවශ්‍ය ආදායම් රැස්කර ගැනීම වෙනුවෙන් බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නැංවීමටද නියමිතව තිබේ.

මුදල් අමාත්‍යංශය පෙන්වාදෙන්නේ, වැට් බද්දෙන් ආදායම් බලගැන්වීම ඉහළ නැංවීමට සහ වැට් බද්දේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා, මෙතෙක් වැට් බදු නිදහස් කර තිබූ අයිතම 137න් 87ක් 2023 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දට ඇතුළත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

එකතු කළ අගය මත බද්ද මගින් 2023 සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 505ක් උපයා ඇති අතර, එය රුපියල් බිලියන 310 සිට සියයට 62.6කින් ඉහළ යෑමකි.

2022 දී මෙරට වැට් බදු අනුපාතය සියයට 08 සිට 12 දක්වාත් පසුව සියයට 15 දක්වාත් වැඩි කරන ලදී.

වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට රුපියල් මිලියන 80 දක්වා අඩු කෙරිණි.

මූලික ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැට් බද්දෙන් නිදහස් කිරීම සාමාන්‍ය සිරිතය.

විදුලිය සහ ඉන්ධන සඳහා වැට් බද්ද අය කරන්නේ නම් (පවතින බදු අඩු කිරීමෙන් සහ විදුලිබල උත්පාදනය සඳහා බදු රහිත ඉන්ධන ලබා දීමෙන් පසු) ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වයද වැඩිදියුණු වීමට ඉඩ තිබේ.

සියයට 20ක වැට් බද්ද සහ සියයට 20ක ආදායම් බදු යටතේ සාමාන්‍ය පුරවැසියකුගේ ඉපැයීම්වලින් සියයට 40ක් පමණ රජය විසින් ආපසු ලබාගනු ලැබේ.

ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් මසකට රුපියල් 10,000කින් වැඩි කිරීමට යෝජිතය.