November 14, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවී ඇත්තේ කුමක්ද යන්න කණ්ඩායමේ උපදේශක පුහුණුකරු වන මහේල ජයවර්ධන පසුගියදා පැවැති ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

එහෙත් එහිදී මහේල පෙන්වාදුන් ගැටලුවලට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තවත් විශාල ගැටළු සංඛ්‍යාවක් ඇති බව එම ජනමාධ්‍ය හමුවේදීම දැකගත හැකිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු තම කණ්ඩායමේ තවත් ළාබාල ක්‍රීඩකයකුගේ කලිසම අස්සට අතදමන ආකාරය සහ එම ළාබාල ක්‍රීඩකයා සිනහවකින් එම අත්දැකීමට ප්‍රතිචාර දක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ වේගයෙන් සංසරණය වේ.

මෙය පැහැදිලිවම කාලාන්තරයක් තිස්සේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එල්ලවන විනය මදකම පෙන්වාදෙන පැහැදිලි අවස්ථාවකි.

අවම තරමින් සිය කණ්ඩායමේ පරාජය සහ දුර්වලතා පිළිබඳව ප්‍රසිද්ධ ස්වයං විවේචනයකට පැමිණ සිටින අවස්ථාවකදී හෝ ඊට උචිත ආකාරයෙන් මදක් ඉවසා සිටීමට තරම් හෝ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විනයක් නොමැතිවීම අතිශය කණගාටුදායකය.

තමන් නියෝජනය කරන්නේ රටක ජාතික කණ්ඩායමක් බවත්, එවැන්නකු සතුව වෙනමම පුහුණු කරන ලද සුවිශේෂී ගුණාංග පැවතිය යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු දන්නා බවක් පෙනෙන්නට නැත.

මහේල කියූවේ මේ ඉන්නේ හොඳම කණ්ඩායම කියාය.

අපට අසන්නට ඇත්තේ, ක්‍රිකට් ගැසීම කෙසේවෙතත්, පැයක කාලයක් පුටුවක වැඩිවී සිටීමට විනයක් නොමැති මෙවැන්නන් සතුව ඇති ‘හොඳ’ කුමක්දැයි කියාය.

මෙහි කිසිදු ලිංගික නැමියාවක් පිළිබඳව සටහන් කිරීමට අවශ්‍ය නැත.

ඕනෑම අතදමා ගැනීමක් හෝ ‘ආතල් ගැනීමක්’ හෝ හුදු තරුණකමට කරන විහිළුවක් වෙනත් ඕනෑම තැනක කරගත්තාට ගැටළුවක් නැත.

ගැටලුව ඇත්තේ රට්ටුන්ට ක්‍රිකට් එපාකරදී, තම දුර්වලකම් පාපොච්ඡාරණය කිරීමට පැමිණ, එතැනදීද අප්පිරියාම වන ආකාරයෙන් හැසිරීමයි.

එක අතකින් රටේ සමස්ත තත්වය මෙන්ම ක්‍රිකට් ආයතනය ගැනත් සිතන විටත් මෙය එතරම් පුදුමයට කාරණයක් වන්නේද නැත.

ගුරුන් හිටගෙන හුජ්ජ කරන රටක ගෝලයන් දුව දුව කිරීම එතරම් අරුමයක් නොවන්නේමය.

ශම්මි සිල්වලාට මුදල් ඇති නිසා හෙට අනිද්දාට කණ්ඩායමේ විනය තකා තවත් විශේෂ පුහුණුකරුවකු ආනයනය කිරීමට වුව හැකියාව තිබේ.

දුක ඇත්තේ තවමත් ‘ඉත්තෑවා දුවන’, කණ්ඩායම අද හැදෙයි, හෙට හැදෙයි කියා බලාසිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයා ගැනය.

මෙහි ඇත්තේ විවිධ ආකාරයෙන් සංස්කරණය කර ශ්‍රී ලංකා ක්‍රිකට් හෑල්ලු කෙරෙමින් සංසරණය වන අදාළ වීඩියෝවේ තවත් අවස්ථාවකි.