November 14, 2023

සමාජ සංහිඳියාවට හානිදායක වූ බව පවසමින් නේපාලය විසින් චීනය හිමිකාරීත්වය දරන ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය තහනම් කර ඇත.

සමාජ මාධ්‍ය ආයතන විසින් එරට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අවශ්‍ය වන නව රීතියක් හඳුන්වාදීමෙන් දින කිහිපයකට පසුව මෙම තීරණය ගෙන තිබේ.

මාසික පරිශීලකයින් බිලියනයක් පමණ සිටින ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලාව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විසින් ද තහනම් කර ඇත.

මෙම වසර මුලදී, මොන්ටානා එය තහනම් කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය බවට පත් වූ අතර, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවද ටික්ටොක් සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කර තිබේ.

සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ ඇමැතිනි රේඛා ෂර්මා නේපාල බීබීසීයට සඳහන් කර ඇත්තේ, එය අනිෂ්ට අන්තර්ගතයන් පතුරුවා හරින බවයි.

තහනම් කිරීම වහාම ක්‍රියාත්මක වන බවත්, එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේවෙතත් සභාග ආණ්ඩුවේ කොටසක් වන නේපාල කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ගගන් තාපා, ටික්ටොක් තහනමක් පැනවීමට රජය ගත් තීරණය ප්‍රශ්න කර තිබේ.

එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ උත්සාහයක් බවත්, වේදිකාව නියාමනය කිරීම කෙරෙහි නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත්, ඔහු පවසයි.

නේපාලයේ පසුගිය වසර හතර තුළ ටික්ටොක් සම්බන්ධ සයිබර් අපරාධ නඩු 1,600කට වඩා වාර්තා වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.