November 12, 2023

භූ කම්පන මාලාවක් සිදුවීමෙන් සහ ද්‍රවීකරණය වූ මැග්මා(ලාවා වැනි ස්වාභාවික පාෂාණමය ඝන ද්‍රවයක්)පොළව යට ශීඝ්‍රයෙන් පැතිර යන බවට සාක්ෂි ලැබීමෙන් පසු දිවයිනේ නිරිත දෙසින් ඉදිරි දිනවලදී සිදුවිය හැකි ගිනිකඳු පිපිරීමක් සඳහා සූදානම් වන බව අයිස්ලන්ත බලධාරීහු ප්‍රකාශ කරති.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ භූගත මැග්මා පැතිරීමේ ප්‍රමාණය සහ එය චලනය වන වේගය නිසා රේයිකැනස් අර්ධද්වීපයේ හෝ ඊට ඔබ්බෙනන් පුපුරා යෑමේ “සැළකිව යුතු” අවදානමක් පවතින බවයි.

“අද උදෑසන සිට පුපුරා යාමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඕනෑම වේලාවක පිපිරීමක් ආරම්භ විය හැක,” යනුවෙන් අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ධීවර නගරයක් වන ග්‍රින්ඩාවික්හි 3,000ක් පමණ පදිංචිකරුවන් එක් රැයකින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂණ ඒජන්සිය නියෝග කළේය.

මෑත වසරවලදී රේයිකැනස් කලාපයේ ජනාකීර්ණ නොවන ප්‍රදේශවල පිපිරීම් කිහිපයක් සිදුව තිබිණි.

නවතම පිපිරීම ග්‍රින්ඩාවික් සිට නිරිත දෙසින් මුහුදු පත්ලේ ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා කාර්යාලය පවසයි.

ග්‍රින්ඩාවික් හරහා ඊසාන දෙසින් සහ තවත් කිලෝමීටර් 10ක් පමණ අභ්‍යන්තරයට විහිදෙන, ඊයේ පෙරවරුව වනවිට මීටර් 1,500ක් ගැඹුරින් පැවති මැග්මා උමගක් පස්වරුව වනවිට මීටර් 800ට දක්වා අඩු ගැඹුරකින් යුතු බවට ඇස්තමේන්තු කර ඇති බව කාර්යාලය පවසයි.

භූ කම්පන ක්‍රියාකාරකම් වැඩිවීම නිසා අයිස්ලන්තයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන බ්ලු ලැගූන් භූ උෂ්ණත්ව දිය උල්පත වසා දැමීමට පියවර ගැනිණි.

රේයිකැනස් යනු රේයිකැවික් අගනුවරට නිරිත දෙසින් පිහිටි ගිනිකඳු සහ භූ උණුසුම් දිය උල්පත් ඇති ස්ථානයකි.

2021 මාර්තු මාසයේදී, කලාපයේ ෆග්‍රාදල්ෆියක් ගිනිකඳු පද්ධතියේ පොළවෙහි ඇති වූ ඉරිතැලීමකින් ලාවා උල්පත් දර්ශනීය ලෙස පුපුරා ගියේය.

ප්‍රදේශයේ ගිනිකඳු ක්‍රියාකාරකම් එම වසරේ මාස හයක් අඛණ්ඩව පැවති අතර, එය අයිස්ලන්ත වැසියන් සහ සංචාරකයින් දහස් ගණනක් එම ස්ථානය නැරඹීමට පොළඹවන ලදී.

2022 අගෝස්තු මාසයේදී, එම ප්‍රදේශයේම සති තුනක පිපිරීමක් සිදු වූ අතර, මෙම වසරේ ජූලි මාසයේදී තවත් පිපිරීමක් සිදු විය.

කිලෝමීටර 6ක පමණ පළල සහ කිලෝමීටර 19ක පමණ දිගින් යුතු ෆග්‍රාදල්ෆියක් පද්ධතිය මෑත පිපිරීම්වලට පෙර වසර 6,000කට වැඩි කාලයක් අක්‍රියව පැවතිණි.