November 11, 2023

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනීනොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (10) නියෝග නිකුත් කළේය.

අධිකරණ නියෝග කඩ කරමින් 2022 වසරේ ජූලි 07 දා උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අසනීපයෙන් පසු වන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දූන්නේය.

ඒ අවස්ථාවේ අසනීපයට අදාළ වෛද්‍ය සහතිකය මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අතර, එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැමට නීතිය එක බව කියමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුවක් නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් 10 දෙනා විවෘත අධිකරණයේ පෙනීසිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබූ පසුගිය වසරේ ජූලි 09 දාට දින දෙකකට පෙර සිදුකළ එම උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සඳරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ.(දිනමිණ)

 

42.31%
17.27%
32.76%